ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
ඒ අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දෙරට අතර පැවති තුන්වැනි සහ අවසාන තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 7 ක ජයග්‍රහණයක් අත්කර ගැනීමත් සමඟයි.
මේ තරගයේ කාසිය වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා..
මෙම තීරණයට අනුව පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී ලබා ගැනීමට හැකිවූයේ කඩුලු 5ක් දැවී ලකුණු 138ක් පමණයි.
මෙහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායිකා හරම්ප්‍රීත් කොවූර් ලකුණු 39 ක් රැස්කර ගත්තේ පන්දු 33 කට පමණක් මුහුණ දෙමින්.
ඇයගේ ලකුණු 39 තුළ හතරේ පහර 3ක් සහ එක් 6 පහරක් අන්තර් ගතවී තිබුණ.
ඇයට අගනා සහායක් ලබාදුන් ජෙමීමා රොද්‍රිගස් පන්දු 30 කදී ලකුණු 33 ක් රැස් කර ගත්තේය හතරේ පහර 3ක් ද සමගින්.
පන්දු යැවීමේදී සාගරිකා කුමාරි, අමා කාංචනා, ඕෂධී රණසිංහ සහ ඉනෝකා රණවීර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 6 ක්ව තිබියදී බිඳ වැටෙනවා.
විශ්මි ගුණරත්න ලකුණු 5 කට දැවී යන්නේ රේණුකා සිංගේ පන්දු හමුවේයි.
ඉන් අනතුරුව නායකත්වයේ වගකීම කරට ගන්නා චාමරි අතපත්තු පන්දු 48 කදී ප්‍රවේගකාරී ලකුණු අසූවක් රැස්කර ගන්නවා.
ඇයගේ ලකුණු 80 තුළ හතරේ පහර 14 ක් සහ එක් 6 පහරක් අන්තර්ගතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ට මඟ පාදන මෙම පිතිකරණයත් සමඟ ඒකාබද්ධ වන නිලක්ශි ද සිල්වා පන්දු 28 කදී ලකුණු 30 ක් රැස්කර ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය තවත් සමීප කරනවා.
ඇයගේ ලකුණු 30 ඇතුළත හතරේ පහර 4ක් අන්තර්ගතයි.
පන්දු ඕවර 17 ක් නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනයට අවශ්‍ය ලකුණු 142 ලබා ගන්නේ කඩුලු 3ක් පමණක් දැවී තිබියදී.