කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට තොරතුරු අනාවරණයවී තිබෙනවා.
මේ අනුව කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරන ලෙස අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි නිලධාරීන්ට ඊයේ උපදෙස් ලබා දී තිබෙනවා.
මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයා කොළඹ වරායේ මුලුතැන්ගෙය පරික්ෂා කළ අවස්ථාවේදීය.
එසේම කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.
කොළඹ වරායේ මුළුතැන්ගේ සඳහා ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කොළඹ වරායේ උප සභාපතිවරයාට උපදෙස් දී ඇත.
කොළඹ වරාය මුළුතැන්ගෙයින් දිවා ආහාරය සඳහා සේවකයන් පන්දහසකටත් රාත්‍රී ආහාරය සඳහා සේවකයන් 3500 කටත් ආහාර සැපයෙන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය.
එහෙත් මුළුතැන්ගෙය සඳහා සූපවේදියකු නොමැති බව සේවකයෝ පැවසූහ. මේ අනුව ඒ පුරප්පාඩුවට වහාම සුදුස්සකු බඳවා ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
වසර 44කට පෙර ඉදි කර ඇති ඉදිකර ඇති වරාය මුලුතැන්ගේ මේ වන විට ඉතාමත් අබලන් තත්වයේ පවතින බවත් ආහාර සැකසුම් තමන් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් මෙහිදී හෙළිදරව්වී ඇත.
ඒ අනුව මේ තත්වය වහා වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වරාය මුලුතැන්ගේ පවතින අඩුපාඩු සහ ආහාර ප්‍රමිතියෙන් තොර බව වෘත්තීය සමිති නියෝජිතයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
ඇමතිවරයා පෙර දැනුම්දීමකින් තොරව මුලුතැන්ගේ නිරීක්ෂණය කළේ මේ අනුවය.
වරාය මුළුතැන්ගේ කෑම පිසිනු ලබන්නේ ඉපැරණි ගෑස් ලිප් වල බැවින් ගෑස් විශාල වශයෙන් අපතේ යන බව සේවකයෝ පැවසූහ.
.