අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනයක් ආපදාවට ලක් වීමේ දී ඔවුන් විසින් පළමුව සිදු කළ යුත්තේ, එම වාහනය මාර්ගයේ ආරක්ෂිත කලාපයට අයින් කර වහාම 1969 අධිවේගී මාර්ග සේවා අංකයට කතා කර, ඔවුන්ගේ සේවය ලබාගැනීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
එසේ නොකර තමන් විසින්ම ආපදා කටයුතු පිළිසකර කිරීමට උත්සහ දරන රියදුරන් සහ රිය සහායකයින් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු අවධාරණය කරන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අදහස් පළ කළේ අද (29) උදෑසන කොළඹ පිටත වට රවුම් මාර්ගයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්.
කොට්ටාව සිට කඩවත දෙසට කොළඹ පිටත වටරවුම් මාර්ගයේ 16 වැනි කිලෝමීටර කණුව අසළ අද අලුයම සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ලොරි රථ රියදුරෙකුට සහ එහි හිමිකරුට ජීවිත අහිමි වුණා.
16 වැනි කිලෝමීටර කණුව ආසන්නයේ දී ටයරයක හටගත් ආබාධයක් හේතුවෙන් මාර්ගයේ ආරක්ෂිත කලාපයේ නවතා එහි පිළිසකර කිරීම් සිදුකළ ලොරියක පසුපසින් පැමිණි තවත් ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
මෙය අනතුර හේතුවෙන් පසුපසින් පැමිණ ලොරි රථයේ රියදුරා ඉදිරිපස වාමුවාව කඩාගෙන අධිවේගී මාර්ගයට වැටී ඇති අතර ඔහු එම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔහුගේ වම් පසින් ගමන්ගත් ලොරි රථයේ හිමිකරු මේ අනතුර හේතුවෙන් ලොරියේ සිර වී ඇති අතර සුළු වේලාවකින් හටගත් ගින්න හේතුවෙන් ඔහු පිළිස්සී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් නවතා තිබූ ලොරියේ රියදුරු සහ සහායකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිවේගී මාර්ග නීති රීති නිසියාකාරව පිළිනොපැදීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසා සිටියේ.