කටුනායක පොලීසිය කියා සිටියේ අද අළුයම සැකකරු එයාර් ඇරබියා ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව යෑමට ගුවන් තොටුපල වෙත පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. මොහු ඩුබායි හි රැකියාවක නිරතව සිටින්නෙකු බවත් මාස 3 ක නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සැකකරු අද මීටියාගොඩ පොලීසියට භාරදීමෙන් අනතුරුව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
මෙම දැරිය සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් කාන්තාවක් සහ පුද්ගලයින් තුන්දෙනෙකු සොයා පොලීසිය මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු සහ අනෙකුත් සැකකරුවන් හතරදෙනාම මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
මීටියාගොඩ - කහටපිටිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි මෙම දැරිය සමූහ දූෂණයට ලක්ව ඇත්තේ පසුගිය 16 වැනිදායි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකාරියගේ සොහොයුරා සමඟ මෙම දැරිය ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බවට පරීක්ෂණවලදි අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
සිද්ධිය වූ දිනයේ මෙම දැරියගේ නිවසට ගිය අදාළ සැකකාරිය තම සොහොයුරා වස පානය කර ඇති බවට පවසා ඇය නිවසින් පිටතට රැගෙනවිත් තිබෙනවා. පසුව සැකකාරියගේ සොහොයුරා පෙන්වීමට යැයි පවසා මෙම දැරිය බස් රථයක නංවාගෙන අම්බලන්ගොඩ නගරයට පැමිණ පසුව ත්‍රිරෝද රථයක නංවාගෙන අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. සැකකාර මෙම කාන්තාව දැරිය නිවසේ රඳවා ආහාර රැගෙන එන බවට පවසා පිටතට ගොස් නිවසේ යතුර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතරදෙනාට ලබාදී තිබෙනවා.
ඒ අනුව නිවසට ඇතුලූවූ සැකකරුවන් එම දැරිය සමූහ දූෂණයට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම දැරිය මේ වනවිට ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.