රජයේ සහ පෞද්ගලික ඉඩම් අලෙවි කිරීමේදී සිදු කෙරෙන මහා පරිමාණ වංචාවන් පිළිබඳව බොහෝ දෙනකු කතාබහ නොකරන්නේ ඉඩම් නඩු මැරෙනතුරු දිග්ගැස්සෙන නිසාය. මේ නිසා ඉතා සූක්ෂ්ම ලෙස රජයේ වටිනා ඉඩම්වලට ව්‍යාජ බලපත්‍ර, ඔප්පු සකසා අලෙවි කරන කණ්ඩායම් සිටිති.
සීගිරිය අභය භූමිය මෙන්ම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සංචාරක ආකර්ෂණය දිනා ඇති පෙදෙස් වෙයි. සංචාරක හෝටල් ව්‍යාපාරයට මෙන්ම වගාබිම සඳහා ද මෙම ප්‍රදේශය පහසුකම් සපයන බවද ප්‍රකටය.
මෙම සෑම ඉඩමකටම ඉතා සූක්ෂ්ම ලෙස බලපත්‍ර, ඔප්පු, දීමනාපත්‍ර ආදිය සකසා දිවයිනේ මෙන්ම විදේශ රටවල පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බවද රහසක් නොවේ.
ඒත් මෙම උපක්‍රමය සිදුකෙරෙන ආකාරය කිසිවකුටත් සොයාගැනීමට නොහැකි විය. බොහෝ ඉඩම් මිලදී ගත් පිරිස් මේ වන විටත් සීගිරියේ අතරමං වී සිටිති. මෙම කණ්ඩායමට සිදුව ඇත්තේ නිරවුල් නැති ඉඩම්වලට හසුවීමය.
මෙසේ අසරණවූවන් නිහඬව සිටින්නේ මැර බලය, දේශපාලන හයියට ඇති බිය නිසාය.
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරිවරියකුගේ සේවය අත්හිටුවා ඇතැයි කියන පුවත දඹුල්ල පුරා පැතිර යන්නට වූයේ ඔය අතරේය.
මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමට අප දැඩි උත්සාහයක නිරත වුවද බොහෝ දෙනා එම තොරතුර සඟවන්නට වූයේ එහි මෙරට ප්‍රසිද්ධ පුද්ගලයකුගේ බිරියගේ නමක් ගෑවී ඇති නිසාය.
සීගිරිය ප්‍රදේශයේ මෙම ඉඩම් ගනුදෙනුව සහ ව්‍යාජ ලිපි ලේඛන සිදුවී ඇති ආකාරය පිළිබඳව අපි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා සිටිමු.
එම තොරතුරුවලින් පෙනෙන්නේ සීගිරිය, මයිලැත්තාව ප්‍රදේශයේ අසරණ පවුලකට අයත් සීගිරි ගල ඉතා මැනවින් දර්ශනය වන රජයේ දීමනා බලපත්‍ර සහිත ඉඩම කූට ලේඛන සකසා කාන්තාවකට පවරා ඇති බවය.
මෙම පැවරීම සිදුකොට ඇති ක්‍රමවේදය මේ වනවිටත් අබිරහසකි. මේ නිසා අපි සීගිරිය ප්‍රදේශයේ මෙම ඉඩම් ගනුදෙනුව සිදු වූ ආකාරය සොයා බැලුවෙමු.
ව්‍යාජ ලිපි ලේඛන සකසා වෙනත් අයකුට පැවරූ ඉඩමේ හිමිකාරිය බවට පත්ව සිටියේ ඇතුගල් පේඩිගේ පද්මිණි යන මවයි. මෙම ඉඩම් ගනුදෙනුව සිදු වූ ආකාරය ඇය මෙසේ විස්තර කළාය.
"අපේ ඉඩමට අල්ලපු ඉඩම බලාගන්න මහත්තයා අපට උදවු කළා. මමයි මහත්තයයි දෙන්නම අසනීපෙන් ඉන්නේ. අපිට බෙහෙත් ගන්න උදවු කළා. ආහාරපාන ලබා දුන්නා. අපි නුවර අරන් ගිහින් බෙහෙත් අරන් දුන්නා. ඒ හැමදේටම මුදල් වියදම් කළේ ඉඩම බලාගන්න මහත්තයා."
"අපිට ඒ මහත්තයට දෙන්න දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ ඉඩම ඒ මහත්තයට පවරලා දෙන්න අපි තීරණය කළේ. මේ ඉඩමේ ලියකියවිලිත් අපි ඒ මහත්තයට දුන්නා. අපි කැමැත්තෙන් තමයි ඒ මහත්තයට ඉඩම දෙන්න පොරොන්දු වුණේ. ඒ මහත්තයා අපිට කිව්වේ මැරෙනකං සලකන්නම් කියලා. මැරෙනකම් අපේ ගෙදර ඉන්න කියලත් කිව්වා. අපි ඒක විශ්වාස කළා. අපිට සැකයක් තිබුණෙත් නැහැ. ඒ මහත්තයා අපේ දරුවෙක්වත් නොකරන විදිහට තමයි අපිට සැලකුවේ. මේ ඉඩම ඒ මහත්තයගෙන් වෙනත් කෙනකුට පවරනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. මට එහෙම කිව්වෙත් නෑ. මේ ඉඩමට ඔප්පු හතරක් තියෙනවා. ඒ හතරම ඒ මහත්තයට පවරලා දෙන්න තීරණය කළා.
"මම එක දවසයි අල්ලපු ඉඩමේ අයිතිකාර සංගක්කාර මහත්තයව දැකලා තියෙන්නේ. ඒත් ඉඩමට ආපු දවසක. ඒ නෝනා මහත්තයාව දැකලා තියෙන්නේ එක දවසයි. ළමයි එක්ක ඇවිල්ලා එළුවෝ අතගගා ඉන්නවා මම දැක්කා.
අපි දෙන්නා දඹුල්ලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් කොළ වගේකට අස්සන් කර දීලා බෙහෙත් ගේන්න ගියා. ඇත්තටම ඒ මහත්තයා අපට උදවු කරපු නිසා තමයි අදත් අපි කාලා ඉන්නේ නැත්තං මෙලහට මැරිල."
"අපි පස්සේ ඉල්ලුවා බෙහෙත් ගන්න මුදල් ටිකක් දෙන්න කියලා. එතකොට කිව්වා මේ ඉඩමේ සිද්ධිය පත්තරවල ටීවීවල ගිහිල්ලා තියෙන නිසා දෙන්න බෑ කියලා.
අපේ ඉඩම ඒ මහත්තය වෙන කෙනකුට පවරලා කියලා අපි දැනගත්තේ පත්තර, ටීවීවල යනකොටයි. එතකල් දැනගෙන හිටියෙ නෑ."
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන්ද විමසූ විට ලැබුණේ මෙබඳු පිළිතුරකි.
"මට මේක අනාවරණය වුණේ මේ අවුරුද්දේ ජනවාරි දෙවැනිදා තමයි ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර පැවැරීමක් සිදු වෙලා තියෙනවා කියලා මම දැනගත්තේ. ඒ සම්බන්ධයෙන් අපි ග්‍රාම නිලධාරිවරයාගේ ප්‍රකාශ සටහන් කරගෙන ලේකම්තුමා දැනුවත් කළා. දිස්ත්‍රික් ලේකම්තුමා පරීක්ෂණයක් කරලා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරිගේ වැඩ තහනම් කළා. ඒ වගේම පැවරීම අවලංගු කිරීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්තුමාට දන්වා යැව්වා. ජනවාරි මාසේම අදාළ ක්‍රිියාමාර්ග ගන්න කියලා පළාත් ඉඩම් කොමසාරිස්තුමාට උපදෙස් ලබා දීලා තියෙනවා.
ඒ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරයා සපයා තියෙන වාර්තා පිළිබඳව සහ ඔහුගේ විෂමාචාර සිද්ධිය සම්බන්ධයෙන් දැනට පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් ව්‍යාජ ලේඛන සකස් කළ බව තහවුරු වුණා. 2014 චක්‍රලේඛය අනුව පැවැරීම අවලංගු කරන්නත් පුළුවනි."
වැඩිදුරටත් අප කළ විමසීම්වලදී ඒ මහතා මෙසේ ද පැවැසීය.
"මේ අවුරුද්දේ ජනවාරි දෙවැනිදා තමයි මට දැනගන්න ලැබුණේ මේ ව්‍යාජ ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් කූට ලේඛන සකසලා තියෙනවා කියලා. කුමාර සංගක්කාර මහත්තයා මට ජනවාරි 02 දින ඇමැතුමක් දීලා තමන් සතු සීගිරි ප්‍රදේශයේ ඉඩමේ ආයෝජකයෙක් හඳුනාගෙන සිටින බවත් එම ආයෝජකයා මඟින් ආයෝජන වැඩසටහන ආරම්භ කිරීමට මගේ අනුමැතිය අවැසි බවත් කීවා. මගේ අනුමැතියක් මේ සඳහා අවශ්‍ය නැහැ කියලා මම කිව්වා. පසුව එම අවස්ථාවේම කුමාර සංගක්කාර මහත්තයා සංජීව කියලා කෙනකුව දුරකථනයට සම්බන්ධ කළා.
"සංජීව කියන අය තමයි කිව්වේ ඉඩම සංගක්කාර මහත්තයාගේ පෞද්ගලික ඉඩම නෙවෙයි, පසුගියදා පැවරූ ඉඩමක් සම්බන්ධයෙනුයි අනුමැතිය අවශ්‍ය වෙන්නේ කියලා. මම ඒ අයට කිව්වා මම ඒ අයට ඉඩමක් පවරා නැහැ කියලා. කෙසේ වෙතත් මම එදිනම ලේඛන පරික්ෂා කළා. ව්‍යාජ ලේඛනවලට මගේ අනුමැතිය අරගෙන තියෙන විත්තිය මට වැටහුණේ එවිටයි."
මෙම ඉඩමේ පෙර හිමිකම පැවැරී තිබූ පද්මිණි මහත්මියගේ සැමියා එච්.එම්. විමලසිරි මහතා අප සමඟ මෙසේ පැවැසීය.
"මේ ඉඩම මගේ බිරිය නමින් තමයි පැවැරිලා තියෙන්නේ. පර්චස් අනූවක් තියෙනවා. අපේ ඉඩමට අල්ලපු ඉඩම තමයි සංගක්කාර මහත්තයගේ ඉඩම. මගේ බිරිය නිතර නිතර අසනීප වෙනවා. සංගක්කාර මහත්තයාගේ ඉඩම බලාගන්න සංජීව මහත්තයා අපට උදවු කළා. කන්න බොන්න ගෙනත් දුන්නා. ලෙඩට දුකට බැලුවා. බෙහෙත් ගේන්න වාහන දුන්නා. ඒ උදවු කරපු නිසා තමයි ඉඩම පවරලා දෙන්න අපි කල්පනා කළේ."
අපි ලියකියවිලි ඒ මහත්තයට දුන්නා. ඒ මහත්තයා කිව්වා අපි දෙන්නාට මැරෙනකල් ජීවත් වෙන්න සලකන්නම් කියලා. ඒ වගේම බෙහෙත් ටික අරගෙන දෙන්නං කිව්වා. අපිට වෙන මොනවත් ඕනෑ නැති නිසා අපි කැමැති වුණා."
"හැබැයි අපි දැනගෙන හිටියේ නැහැ මේ ඉඩම වෙනත් කාන්තාවකට පවරනවා කියලා. අපිට ඒ බවක් කිව්වෙත් නෑ. සංගක්කාර මහත්තයාගේ බිරිය සමහර දවස්වලට ඉඩමට ඇවිල්ල යනවා අෑතින් දැකලා තියෙනවා. සීගිරිගල අපේ ඉඩමට දර්ශනය වෙන නිසාත් අපේ කරුමෙට අසනීප වුණු නිසාත් දැන් මෙලොව දෙයක් නැතිව හූල්ලන්නයි දැන් අපිට වෙලා තියෙන්නේ."
මෙම ඉඩම පිළිබඳව සොයා බැලීම සඳහා ඉඩමට පැමිණි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙසේ පැවැසීය.
"මේ සිද්ධිය ආරංචි වීමත් සමඟ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිතුමා ප්‍රාදේශීය ලේකම්වරුන් කැඳවලා දිස්ත්‍රික්කයේ ඉඩම් විකුණන එක වහාම නවත්වන්න කියලා උපදෙස් දුන්නා. මේකට කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ."
"සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්න ඕනෑ. හෝටල් ඉදිවෙන්න ඕන. හැබැයි ඒක වෙන්න ඕනෑ අහිංසක මිනිසුන්ගේ දේපළ කොල්ලකාලා නෙවෙයි. ජනමාධ්‍යට ස්තුතිවන්ත වෙනවා මේ මංකොල්ලය හෙළිදරව් කළාට. මේ අසරණ අම්මට තාත්තට ජීවත්වීමේ බලාපොරොත්තුව දීලා ඉතා සූක්ෂ්ම ලෙස මේ ඉඩම් පවරාගෙන තියෙනවා. ඒක මහා අපරාධයක්. හැබැයි ලියුම් කඩදාසියක්වත් ඒ දෙපල ළඟ නැහැ. අපි හරියටම දන්නේ නැහැ මේකේ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහත්තයා සහ බිරියගේ නමට තමයි මේ පැවැරුම් සිද්ධ වෙලා තියෙන්නේ. මේක කූට වැඩක්ද කියලත් සැකයක් තිබෙනවා. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා අපිත් ඉල්ලනවා. ඒ වගේම මේ සොයා බැලීම මම ආණ්ඩුකාරතුමාටත් ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිතුමාටත් දැනුම් දී සිටිනවා."
මෙම පැවැරීමට අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීමට අනුමත කිරීමට දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බලය පවරා තිබුණු දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරි ශානක වර්ණසූරිය මහතාගෙන්ද අපි විමසීමක් කළෙමු.
"මට පැවැරුණු රාජකාරිය හරියටම ඉටු කරලා තියෙනවා. මේ ඉඩම් පවරා ගන්න කාන්තාව ඉදිරිපත් කොට තියෙන හැඳුනුම්පතේ රූපයකට සමාන කෙනෙක් මගේ ඉදිරියට පැමිණිලා සිටියා. ඒ නිසා මම අනුමත කළා."
දැනට වැඩ තහනමට ලක්ව ඇති දඹුල්ල ඉහළ ඇරෑවුල ග්‍රාම සේවා වසමේ සේවය කළ ග්‍රාම නිලධාරි ලක්ෂ්මන් ප්‍රේමරත්න මහතා හමුවීමට ද අපි අමතක නොකළෙමු.
"මම නීත්‍යනුකූලවයි වැඩ කරල තියෙන්නේ.
මට පෙන්නුවේ එහේ පදිංචිය තියෙනවා කියලයි.
මම මේ වසමේ වැඩ භාර අරගෙන මාසයක වගේ කාලයක් තමයි ගතවෙලා තියෙන්නේ. වසම ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ.
ඡන්ද නාම ලේඛනයේ මේ වගේ නමක් තිබුණෙ නැහැ. මම කිව්වා පදිංචිය හැර යෑමේ ලියුමක් ගේන්න කියලා. ඒ ලියුමේ තිබුණ දේ ලිව්වේ. ලේඛන අරගෙන ආවේ මං අදුරන කෙනෙක්.
ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර කියන අය දැකලා තියෙන්නේ රූපවාහිනියෙන් විතරයි. යෙහාලි සංගක්කාර කියලා කෙනෙක්ව දන්නේ නැහැ. මෙම ලේඛන ලබාදුන් පුද්ගලයා අපේ ගෙවල් ළඟ පදිංචි වෙලා ඉන්න කෙනෙක්. මං එයාව හොඳට අදුරනවා. මට ඔහු විශ්වාස නිසා තමයි අස්සන් කළේ.
ලිඛිත සාක්ෂි තිබුණේ පදිංචිය හැර යෑමේ කඩදාසිවල. ඒකෙ තමයි රැකියාව ගොවිතැන කියලා සඳහන් වෙලා තිබුණේ. ඒ නිසා තමයි මම ඒක ලිව්වේ. එම ලිපිය පරීක්ෂණයකට ඉදිරිපත් කරන්නම්.
මගේ ළමයි මහනුවර ප්‍රදේශයේ පාසල්වලට ඇතුළත් කර නැහැ. ඒක බොරුවක්.
මෙහිදී අපි කුමාර සංගක්කාර මහතාගේ ඉඩම රැක බලා ගන්නා මෙන්ම ඉහත ඉඩම පවරාදුන් දෙපළට උදවුපදව් කිරීමට පොරොන්දු වී සිටි දඹුල්ල ජලාශ පාර ප්‍රදේශයේ සංජීව අසේල වර්ණකුලසූරිය මහතාගෙන් විමසීමක් කළෙමු. මෙම ඉඩම් පැවැරීමේදී සාක්ෂිකරුවකු ලෙස ඔහු අස්සන් තබා තිබීමද විශේෂත්වයකි.
"මේ අසරණ පවුලට මම උදවු කළා. ඒ අය මට වැඳ වැටිලා කිව්වා ජීවත් වෙන්න ප්‍රතිකාර කරන්න උදවු කරන්න කියලා. ඒ නිසා තමයි මම උදවු කළේ. ඒ වගේම මට කිව්වා මේ ඉඩම අරගෙන සල්ලි දෙන්න කියලා. ඒ අනුව තමයි මම ඒ අයට උදව්වක් වශයෙන් මේක කළේ.
මම තවත් කෙනකුට උදවු කරන්න ගිහිල්ලා තමයි අමාරුවේ වැටිල තියෙන්නේ. මේ මැඩම්ව මම අවුරුදු 10ක කාලයක් තිස්සේ අදුරනවා. ඒ නිසා තමයි ඉඩම එතුමියට පවරලා දෙන්න තීරණය කළේ. මේ අසරණ යුවළට උදවු කරන්න ඒ මැඩම් තමයි මට මුදල් දුන්නේ. ඒ නිසා එතුමියගේ නමට මේ ඉඩම පවරලා දෙන්න කියලා කණ්ඩලම ප්‍රදේශයේ ඉන්න වර්ණසූරිය කියන අයටයි සෙනවි කියන කෙනකුටයි භාර දුන්නා. ඒ අය තමයි සියල්ල පවරලා ලියවිලි හදලා අපිට ලබා දුන්නේ. මේකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ."
ප්‍රශ්නය : "මෙම ඉඩම පවරන යෙහෙලි පීරිස් කියන කෙනාව කුමාර සංගක්කාර මහත්තයගෙ බිරිය කියල ඔබ දැනගෙන හිටියද?
පිළිතුර : ඇසුරු කළාට ඇගේ ස්වාමිපුරුෂයා කවුද කියලා මම දන්නේ නෑ"
ප්‍රශ්නය : ප්‍රාදේශීය ලේකම්තුමා සඳහන් කළා ජංගම දුරකථනය ඔස්සේ ඔබත් කුමාර් සංගක්කාර මහත්මයත් එක්ක බහු සම්බන්ධතා ඇමැතුමක් ලබා ගත්තා කියලා.
පිළිතුර : "ඒක ඇත්ත. මේ ඉඩමේ ලියකියවිලි වැරදි නිසා තමයි අපි එතුමා සමඟ කතා කළේ. අපි කතා කරපු නිසා තමයි එතුමා දන්නේ මේවා වැරදියි කියලා.
ප්‍රශ්නය : ඔබ මීට පෙර කිව්වා කුමාර සංගක්කාර මහත්තයව හෝ මේ යෙහෙලි පීරිස් කියන මහත්මිය පෞද්ගලිකව දන්නෙ නැහැ කියලා.
පිළිතුර : ඒවා එකපාරටම කියන්න පුළුවන් දේවල් නෙවෙයිනේ.
පසුව අපි මෙහිදී දෙවැනි සාක්ෂිකරු ලෙස ඉදිරිපත්ව සිටි අලුත් ගෙදර වර්ණසූරිය මහතා සමඟ දුරකථනයෙන් කතා කළෙමු.
"මට එහෙම ලියකියැවිලි භාරදීමක් සිද්ධ වුණේ නැහැ. ඒක තනිකර බොරුවක්. මමත් තව කෙනකුත් ඉඩම් බේරා්කර් වැඩ කරනවා. ඒ නිසා ගමේ අහල පහළ අය අදුරනවා. මට කිව්වේ මේ කඩදාසියට සාක්ෂි අස්්සන් කරන්න කියල විතරයි, කිසිම ආකාරයකින් මේ සිද්ධියට සම්බන්ධයක් නෑ. මම අක්කර සිය ගණන්වලට පවා අස්සන් කරලා තියෙනවා. අපි ඉඩමක් විකුණලා කීයක් හරි හොයාගන්නවා. ඔහු කීවේය.
කෙසේ වෙතත් මෙම ඉඩම් ගනුදෙනුවට ගෑවී ඇති ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතාගෙන් අප කළ විමසීමෙන් පසුව මේ සම්බන්ධයෙන් 2021 ජනවාරි විසිඑක් වැනි දින ඉඩම් කොමසාරිස් ලක්මාලි ජයසිංහ මහත්මියගේ අස්සනින් යුතු ලිපියක් අප වෙත එවා තිබිණි.
එහි මෙසේ සඳහන්ව තිබේ. "උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් යොමු කරන ලද 2021.01.05 දිනැති ලිපිය හා බැඳේ. ඒ අනුව වගකිවයුතු පුරවැසියකු ලෙස මෙහි කර ඇති අවංක ප්‍රකාශ පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරන අතර යථා කාලයේදී මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පියවර දඹුල්ල, ප්‍රාදේශීය ලේකම් සමඟ සාකච්ඡා කර ගැනීමට කටයුතු කරන බවත් කාරුණිකව දන්වමි." ලිපිය යොමු කොට ඇත්තේ කුමාර සංගක්කාර යෙහාලි සංගක්කාර මිය යන දෙදෙනා වෙතය.
දඹුල්ල - කේ.කේ. ආරියදාස
මෙම ලිපිය සම්පූර්ණයෙන්ම මව්බිම පුවත්පතින් උපුටාගන්නා ලද්දකි...