"ඇත්තටම දම්මිට ලැබුණු ඒ වෙරළු රසයි. ලොකු වෙරළු ගෙනල්ලා තිබුණා. වෙරළු ගෙනාවේ කරුණාසේන ජයලත් මහත්තයා. එතකොට එයාගේ නෝනාට පළවෙනි බබා ලැබෙන්න ඉන්නවා. එයාට ගෙනාපු වෙරළු තමයි කරූ අයියා සීන් එකට ගෙනාවේ. වික්‍රම (සුගත්) ඒවා ඉඹලා බලනවානේ. ඒ වෙරළු තිබ්බේ මගේ පැන්සල් පෙට්ටියේ. ඒකට පවුඩර් දාලා සුවඳ කවලා තිබ්බේ. ඒ වෙරළු ඇත්තටම සුවඳයි."
"මම ඉපදුණේ වැල්ලවත්තේ. 1945 ජනවාරි 22 මගේ උපන්දිනේ. මගේ තාත්තා තෝමස් කරුණාතිලක. මගේ අම්මා සෝමාවතී. මගේ තාත්තාට වැල්ලවත්තේ මාර්කට් එකේ කඩයක් තිබුණා. මට අක්කා කෙනෙකුයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා. මගේ අම්මයි තාත්තයි හරි කලාකාමී මිනිස්සු. ඒ දෙන්නම චිත්‍රපටියක් ආවොත් ඒක එදාම ගිහින් බලනවා. අපිවත් එක්කන් යනවා ඉඳලා හිටලා. මගේ අම්මා රුක්මණි දේවිට හරිම ආදරෙයි. එයා රුක්මණී දේවි වගේ සාරි අඳීනවා මට මතකයි. මම ඉස්කෝලේ ගියේ වැල්ලවත්තේ ශ්‍රී ලංකාධාර බාලිකා පාසලට. මම ඉස්කෝලේ යන කාලේ හිතාගෙන හිටියේ ගුරුවරියක් වෙන්න. ඒ කාලේ මම හරිම ලැජ්ජාශීලී කෙනෙක්."
එතකොට මම ඉස්කෝලේ අවසාන විභාගය කරලා ගෙදර ඉන්න කාලේ. ඒ කාලේ තමයි දවස පත්තරේ රූප සුන්දරිය තරගයට අවුරුදු දාසයට වැඩි අය අයැදුම් කරන්න කියලා ප්‍රවෘත්තියක් පළ වුණේ. හරියටම 1962දී. ඒක දැකලා මගේ අක්කා මාව ස්ටූඩියෝ එකකට අරගෙන ගිහිල්ලා රෙද්දයි හැට්ටෙයි අන්දවලා මගේ පින්තූරයක් අරගෙන විස්තර එක්ක පත්තරේ ලිපිනයට යැව්වා. අන්තිම විසිපස්දෙනාව තෝරලා පත්තරේ පින්තූර දාලා තිබුණා. ඒත් මගේ පින්තූරේ ඒකේ පළවෙලා තිබුණේ නැහැ. ඒත් හරි අහඹු සිදුවීමක් වුණා."
"මගේ අක්කා කිව්වා "පින්තූරේ පළ වුණේ නැති නම් අපි ගිහින් ඒක ඉල්ලගෙන එමු" කියලා. අද වගේ නෙමෙයි. ඒ කාලේ අපිට පින්තූරයක් හරි වටිනවා. මගේ අක්කා එතකොට සතොසේ වැඩ කරනවා. මම නම් කොළඹ පාරවල් දන්නේ නැහැ. අක්කා තමයි මාව එක්කගෙන ගියේ. අපි දෙන්නා දවස පත්තර කන්තෝරුවට ගියේ ට්‍රොලි බස් එකක. අපේ ගමනට අක්කාගේ යාළුවෙක් එකතු වුණා. පත්තර කන්තෝරුවට ගිහින් කිව්වා "මම රූප සුන්දරී තරගයට දැම්මා. මාව තේරුණේ නැහැ. පින්තූරේ අරගෙන යන්න ආවේ" කියලා. එතකොට පත්තරේ කර්තෘ පියල් වික්‍රමසිංහ මහත්මයා. එතුමාට විස්තරේ කියලා පින්තූරේ ඉල්ලුවාම එතුමා කිව්වා "ඔය රූපසුන්දරී තරගය සංවිධානය කරන්නේ දයා රණවීර කියලා එක්කෙනෙක් එයාට කියන්න" කියලා. ඊටපස්සේ දයා රණවීර ආවා.”
"දයා මට කිව්වා අපි රූපසුන්දරී තරගෙට තෝරලා ඉවර වුණාට තව කට්ටියක් තෝරලා දාන ඒකට මම ඔයාව තෝරලා දාන්නම්" කියලා. එයාලා කියපු නිසා එදාම හවස තාත්තත් එක්ක ආයිමත් කන්තෝරුවට ගිහින් මගේ අලුත් ෆොටෝ එකක් ගත්තා. ඩී.බී.නිහාල්සිංහ මහත්තයාගේ මල්ලි, ඩී.බී. සුරනිමල තමයි මගේ පින්තූරය ගත්තේ. ඒ තරගයට මාව තේරුණා. ඉතින් තරගයට නිතරම කන්තෝරුවට යන්න එන්න මට සිද්ධ වුණා. මම එතකොට හරිම ලැජ්ජාශීලී, බය කෙනෙක්. දයා මාව බලාගන්න වැඩේ පැවරුවේ චිත්‍රපටි නිෂ්පාදක එච්. ඩී. සෝමරත්න මහත්තයාගේ දුව කුමාරි අක්කාට.
"මම තමයි එතනින් හිටපු පොඩිම ළමයා. අනිත් ඔක්කොම අය මට වඩා වැඩිමල්. මගේ දිගට කොණ්ඩේ තිබුණා කෙණ්ඩ ළඟටම. මාව අන්තිම පස්දෙනාට තේරුණා. රූපසුන්දරිය වුණේ ශ්‍රීනි ආටිගල. එයත් සිනමා නිළියක් වුණා. ඒත් තරගයෙන් දින්නාට වඩා මට ලොකු තෑග්ගක් එදා ලැබුණා.”
"එදා එතනට ඇවිත් හිටියා සුමිත්‍රා ගුණවර්ධනයි (පීරිස්), තිස්ස අබේසේකරයි. එයාලා ගම්පෙරළියට නන්දා කෙනෙක් හොයන ගමන් හිටියේ. එයාලා මාව දැකලා මමත් නන්දාට හොඳයි කියලා හිතුවාලු. පත්තරෙන් මගේ ඇඩ්‍රස් එක හොයාගෙන සුගතපාල ද සිල්වායි ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍රවයි මිස්ටර් පීරිස් (ලෙස්ටර් ජේම්ස් පීරිස්) අපේ ගෙදරට එවලා තිබුණා මං ගැන කතා කරන්න. තාත්තාත් හොඳ කලාකාරයා නිසා ඒකට කැමති වුණා. එතකොට "රේඛාව" ඇවිත් තිබුණා. ඒක හරිම ජනප්‍රිය වුණානේ. ඒ නිසා තාත්තා ලෙස්ටර් මහත්තයාව දන්නවා. නන්දාට මාව පුංචි වැඩි නිසා ඒකට පුණ්‍යාවම අරගෙන මාව ලයිසාගේ චරිතයට ගත්තා."
"මහා සිනමාකරු (ලෙස්ටර් ජේම්ස් පීරිස්) එක්ක වැඩ කරපු අත්දැකීම ගැනත් කියමු?"
"සිනමාව කියන එක ගැන මට ඒ කාලේ ලොකු දැනීමක් තිබුණේ නැහැ. ඔහු හොඳ චිත්‍රපටි කරපු අධ්‍යක්ෂවරයෙක් කියලා මම දන්නවා. ඔහු හොඳ මහත්තයෙක් කියලා කට ඇරලා කියන්න පුළුවන්. අපිව කවදාවත් සෙට් එකේදි කලබල කළේ නැහැ. එයා කතා කරන විදිහ හරිම ලස්සනයි. එයාට අපිට කියලා දෙන්න ඕනේ දේවල් බොහොම හෙමින් කියලා දෙනවා."
"චණ්ඩියා චිත්‍රපටියේ සුමනාගේ චරිතය මට අමතක වෙන්නේ නෑ. ඒ චරිතයට 1963 සරසවි සම්මාන උලෙළේදී මට හොඳම නිළියට සම්මානයක් ලැබුණා. ටෝනි රණසිංහ තමයි හොඳම නළුවා වුණේ. "චණ්ඩියා" ඒ කාලේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණු චිත්‍රපටියක්. ඊටපස්සේ තමයි ඔක්කොම චණ්ඩියෝ ටික ආවේ. මම දන්න විදිහට සිංහල සිනමාවේ වැඩිම දවසක් තිරගත වුණු චිත්‍රපටය චණ්ඩියා. ඒ වගේම ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කරපු "පරසතුමල්" චිත්‍රපටයට මම කැමතියි. බොනී මහත්තයාගේ (ගාමිණී ෆොන්සේකා) නෝනාගේ චරිතයට මම හිටියේ. ඒ චරිතය සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක්ට කරන්න අමාරු චරිතයක්. එතකොට මට අවුරුදු විස්ස පහුවුණා විතරයි. ගෑණු ළමයෙක්ගේ ජීවිතේ නොහිතපු විපර්යාස ගොඩකට ලක්වෙච්ච චරිතයක් ඒක. ඒ චරිතය කරන්න හොඳ ධෛර්යයක් තියෙන්න ඕනේ. අදටත් හැමෝම මට කියන්නේ "පරසතුමල් බලද්දි ඔයා ගැන දුක හිතෙනවා" කියලා. ඒ චරිතයටත් මට සහාය නිළිය සම්මානය ලැබුණා. සීතල වතුර, දරුදුක, පුංචි බබා වගේ චිත්‍රපටිවල මම රඟපාපු චරිතවලටත් කැමතියි. මම ගොඩක් චිත්‍රපටි තෝර බේරගෙන රඟපෑවේ."
"ගොළු හදවත රූගත කළේ මම විවාහ වෙන්න කලින්. ඒ 1967දී. මගේ විසිඑක් වැනි උපන්දිනය දවසේ ඒ කියන්නේ 1967 ජනවාරි 22දා ගොළු හදවතේ මුහුරත් උලෙළ තිබුණේ. 1968 අප්‍රේල් 20 ගොළු හදවත තිරගත කළා. එතකොට මම විවාහ වෙලා. ගොළු හදවත කියන්නේ මගේ ජීවිතේ සුවිශේෂී චිත්‍රපටය. ගොළු හදවතේ රඟපෑමට තමයි මට ජනප්‍රියම නිළියටත් හොඳම නිළියටත් සරසවිය සම්මාන උලෙළේදී සම්මාන ලැබෙන්නේ. ගොළු හදවත පොත කියෙව්වේ මම ඕලෙවල් කරන කාලේ. යාළුවෙක් ඉස්කෝලෙට හොරෙන් අරගෙන ආපු "ගොළු හදවත" මම එක පැයට කියවලා ඉවර කළා. ඒ කාලේ නම් මම කවදාවත් හිතුවේ නැහැ මට දම්මි වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ කාලේ මම දම්මිත් එක්ක හරිම තරහයි. මට ගොළු හදවතේ දම්මිගේ චරිතය හම්බෙන්නෙ පුදුම විදිහකට."
"ලෙස්ටර් මහත්තයා මාව මුණගැහෙන්න ඇවිත් කිව්වා "මගේ ඊළඟ වැඩේ ලස්සන නවකතාවක්. ඒක මොකද්ද කියලා දැන්ම මම කියන්නේ නැහැ. ඒක ඔයාට ගැළපෙනම චරිතයක්" කියලා. එතකොට මට අවුරුදු විස්සකට කිට්ටුයි. ටික ටික දේවල් තේරෙන නිසා චිත්‍රපටයෙන් මාව ඉවත් කරපු එක ගැන මට කනගාටුවක් ඇති වුණේ නැහැ. ඔය අතර ලෙස්ටර් මහත්තයාගේ "රන්සළු" චිත්‍රපටයේ සරෝජිනීගේ චරිතයත් මම රඟපානවා. දවසක් ලෙස්ටර් මහත්තයායි, කරුණාසේන ජයලත් මහත්තයයි, පිටපත ලියපු රෙජී සිරිවර්ධනයි, මායි වික්‍රම (බෝගොඩ) අයියයි ලෙස්ටර් මහත්තයාගේ ගෙදර රැස්වුණා. එතකොට තමයි දැනගත්තේ මමයි දම්මි කියලා. මට හරිම සතුටු හිතුණා. ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි ආයිමත් ටයි එකක් දාලා සුදු ගවුම ඇදලා ඉස්කෝලේ යන්න පුළුවන් නිසා. පස්සේ තමයි පිටපත කියවද්දි මට තේරුණේ මේ කතාව කොයි තරම් හොඳ කතාවක් ද කියලා. ඒ චරිතය තමයි මගේ රංගන ජීවිතේ කිසිදාක අමතක නොවන චරිතය. අනුලා කරුණාතිලක කිව්වාට වඩා හැමෝම මාව දන්නේ ගොළු හදවතේ දම්මි කියලා. හැමදාම ඒක එහෙමයි. මම තවමත් එයාලගේ දම්මිම තමයි. දැන් කාලේ ළමයින්ට දම්මි - සුගත් වගේ ආදරය කරන්න බැහැ. එයාලා ආදරය කරන්නේ ෆෝන් එකෙන්. දැන් ළමයි සීන් එකේ රඟපානවා. දුවගෙන ඇවිත් ෆෝන් එක බලනවා. ආයිමත් රඟපානවා. ෆෝන් එක බලනවා. ඒ අය ඔක්කොම එකම විදිහ වෙලා තියෙන්නේ ඒකයි. හැමෝම එක වගේ රඟපාන්නේ ඒ නිසයි. එයාලගේ කටහඬවල් එක වගේ, රඟපෑම් එක වගේ. දෙබස් කියන විදිහ එක වගේ. එකිනෙකට වෙනස් නැහැ. ඒකට හේතුව මිනිස්සු දැන් හැඟීම් එක්ක නෙමෙයි ගනුදෙනු කරන්නේ. යන්ත්‍ර එක්ක ගනුදෙනු කරන්නේ."
" අපේ ගෙදරට ලියුම් ආවේ මලු පිටින් මට. ඉස්සර මට මතකයි පුරවපු ලොකු මල්ලක් එනවා ගෙදරට. ඒ ලියුම්වලින් බාගෙට භාගයක් මට ආදරය ප්‍රකාශ කරලා එව්වේ. මගේ රංගනය අගය කරලා එවපු ලියුම් තිබුණා. වැඩි හරියක් තිබුණේ ආදරය ප්‍රකාශ කරලා. ඒත් මම විවාහ වුණාට පස්සේ එහෙම ලියුම් එන එක නතර වුණා."
"මම සිනමාවට ආපු කාලේ රංගනය ගැන ඉගෙනගන්න තැනක් තිබුණේ නැහැ. ඒ වගේම මම බොහොම ලැජ්ජාශීලී කෙනෙක්. මම ෂූටින් ගියෙත් තාත්තාගේ අතින් එල්ලිලා. කැමරාවට තියෙන බියගුළුකම මම නැති කරගත්තේ ගම්පෙරළියෙන්. ලෙස්ටර් මහත්තයා තමයි මගේ ජීවිතයේ හමුවුණු හොඳම අධ්‍යක්ෂවරයා. ඔහුගෙන් මම ඉගෙනගත්ත දේ ඕනෑම කලබල වෙලාවක වුණත් හික්මීමකින් වැඩ කරන්නේ කොහොමද කියලා. එයා අපිව හොඳට අධ්‍යයනය කරනවා. මගේ සියුම් ඉරියවු ඔහු බලාගෙන ඉඳලා තමයි ඒවා ගොළුහදවතේදී කැමරාවට හසුකරගත්තේ. ඒ වගේම ටයිටස් තොටවත්ත, ගාමිණී ෆොන්සේකා, දයානන්ද ගුණවර්ධන මේ හතරදෙනාම මගේ රංගන ජීවිතයේ විශ්වවිද්‍යාලයක් වුණු මිනිස්සු. මම ඉගෙනගත්ත දේවල් ටික කාලයකට නතර කරන්න සිද්ධ වුණා. විවාහ වුණාට පස්සේ මම රඟපාන එක නතර කළා."
"එදා දවස පත්තරේදී දයාව දැක්ක ගමන් මට එයාගේ මූණ හොඳට මතක බවක් තේරුණා. මම හිතන්නේ ඒ හුරුපුරුදුකම ආත්ම ගානක ඉඳලා එන එකක් වෙන්නැති. මම ඇති තරම් ලස්සන කඩවසම් නළුවොත් එක්ක රඟපාල තියෙනවා. ඒත් මගේ හිත ගියේ දයාට. එයා තමයි මගේ ජීවිතේ මම ගොඩක් ආදරය කරපු එක්කෙනා. අවුරුදු හයක් අපි දෙන්නාගේ ආදර සම්බන්ධයක් තිබුණා. මම විවාහ වුණේ අවුරුදු 22දී. 1968 මාර්තු මාසේ අපි විවාහ වුණා. අවුරුදු තිස්ගාණක් අපි එකට ජීවත් වුණා. දැන් එයා නැති වෙලා අවුරුදු විස්සක්. එයා නැතුව ජීවිතේ හරිම පාළුයි. එයාගේ මතක එක්ක තාමත් මම ජීවත් වෙනවා. ඒත් මට එයා තනියට දෙන්නෙක් දීලා ගියේ. මගේ පුතාලා දෙන්නා මට ඉන්නවා."
"රිදී තිරයේ ඔබේ පෙම්වතා වුණු රංගන ශිල්පීන් සහ ඔවුන්ගේ මතක ගැන කතා නොකළොත් ඒක අඩුවක්"
"ගාමිණී තමයි මගේ පළමුවෙනි පෙම්වතා. චණ්ඩියා චිත්‍රපටයෙන් තමයි අපි දෙන්නා මුලින්ම එකට රඟපෑවේ. ඊටපස්සේ චිත්‍රපට පහක විතර අපි දෙන්නා ආදරවන්තයෝ විදිහට රඟපෑවා. ගාමිණී මගේ සහෝදරයෙක් වගේ. මාව හරිම පරිස්සම් කළා ගාමිණී. ගාමිණී කෑම බීම ගැන බොහොම ප්‍රවේසම් කෙනෙක්. සෙට් එකේ දී ගාමිණී මගේ කෑම බීම ගැන පවා ගොඩක් උනන්දු වුණා. ඒ සහෝදර බැඳීම එයා මැරෙනකං අපි දෙන්නා අතරේ තිබුණා. ඒ වගේම මම ටෝනිව මතක් කරන්න ඕනේ. ටෝනි නිතරම විහිළු කර කර ඉන්නේ. මටත් හරියට විහිළු කළා ඒ කාලේ. ටෝනි නැතිවෙන්න සති දෙකකට කලිනුත් මං එක්ක කතා කළා. ඉස්සර අපි පැය ගණන් දුරකතනයෙන් කියවනවා. එක දිගට කතා කරලා එයාම අහනවා "මම පැදුරක් වගේ කතා කරනවා නේද?" කියලා එයා නැති වුණාම මට සෑහෙන්න ඒ අඩුව දැනුණා. ගාමිණී එක්ක කතාබහ කරන්නේ සෙට් එකේදී විතරයි. ඒත් ටෝනිගෙයි මගෙයි හොඳ මිත්‍රකමක් තිබුණා. වික්‍රම බෝගොඩත්වත් මතක් කරන්නම ඕනේ. ඉස්සර ෆිල්ම් ෆෙස්ටිවල් තිබ්බා. එතකොට අපිට සහෝදරයෙක් නැති නිසා අපිව ඒවාට එක්කන් යන්න කවුරුත් හිටියේ නැහැ. වික්‍රම බෝගොඩ තමයි කාර් එක අරගෙන එන්නේ මාවයි අපේ අක්කලා නංගිලායි එක්ක යන්න."
"දයා ඒ හැමෝවම දන්නවා. එයා හැමෝගෙම පින්තූර අරගෙන තියෙනවා. දයා නළු නිළියෝ ඔක්කොම එක්ක හිතවත්. එයා හැමෝටම ලස්සන පින්තූර අරගෙන දීලා තියෙනවා. ඒවා මම එකතු කරලා තියෙනවා තවමත්. මම විවාහ වුණාට පස්සේ සිනමාවෙන් චුට්ටක් ඈත් වෙන්න තීරණය කළා. ඒ වෙද්දි අත්සන් කරපු චිත්‍රපටි කීපයක විතරයි මම විවාහයෙන් පස්සේ රඟපෑවේ. බඳීන්න කලින් තාත්තා තමයි මාත් එක්ක රූගත කිරීම්වලට ආවේ. බැන්දට පස්සේ දයා මාත් එක්ක ෂූටිං ආවා. එයාගේ රස්සාව නැති වෙන තරමට මගේ වැඩවලට දයා කාර්යබහුල වුණා. ඒ වගේම මාත් එක්ක ෂූටිං ආවාම ප්‍රේම ජවනිකා රඟපානවා බලන් ඉද්දි එයාට දුක හිතෙයි කියලා මට හිතුණා. මම සීන් එක අරගෙන ඉවර වුණ ගමන් දුවලා යන්නේ එයා ළඟට. අවසානයේ මම තීරණය කළා සිනමාව අත්හරින්න. විවාහයෙන් කාලෙකට පස්සේ මම දෙමෝදර පාලම චිත්‍රපටයේ රඟපෑවා. ඊටපස්සේ අඹ යාළුවෝ ඇතුළු ටෙලිනාට්‍ය කීපයකම වැඩිහිටි චරිත කළා. මම ඊටපස්සේ රඟපෑවේ දයා මැරුණාට පස්සේ."
ජීවිතේ අපි වැඩියෙන් ආදරය කරන දේවල් වෙනුවෙන් අපි ආසා කරන දේවල් අත්හරින්නට සිදුවන බව ඇය පැවසුවේ එසේය. සිනමාවට කොයිතරම් ආශා කළද එයට වැඩියෙන් ඇගේ පවුලට ඈ ප්‍රේම කළේය. සිනමාවේදී තමන් කැමති මෙන්ම අකමැති මිනිසුන් සමඟ රඟපාන්නට වන අවස්ථා රංගන ශිල්පිනියන්ට ඕනෑතරම් ඇත. අනුලාටද එසේමය.
"ඩොමී ජයවර්ධනට මම හරිම බයයි. එයා කළේම දුෂ්ඨ චරිතනේ. ඒ නිසා එයා එක්ක කතා කරන්නත් බයෙන් හිටියේ මම. ඩොමී ජයවර්ධන එක්ක රඟපාන්න වුණා මට. ඒකටත් බැහැ කිව්වාම ඩොමී කරුණාරත්න (අබේසේකර) අයියා එක්ක ඇවිත් මං එක්ක කතා කළා. චිත්‍රපටිය ඉවර වෙනකං ඩොමී අයියා මාව බලාගත්තා. ඒ වගේම ආනන්ද ජයරත්න. එයත් කළේ නපුරු චරිත. එයත් මාව සහෝදරයෙක් වගේ බලාගත්තා."
වර්තමානයේ සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය දෙස බලන ඕනෑම කෙනෙක්ට කැපී පෙනෙන සත්‍ය නම් ජනප්‍රිය රංගන ශිල්පීන් හොඳම රංගන ශිල්පීන් බවට පත් නොවනවා සේම හොඳම රංගන ශිල්පීන් ජනප්‍රිය නොවෙයි. ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථමයෙන් හොඳම සහ ජනප්‍රිය නිළිය ලෙස සම්මානනීය වුණු අනුලා කරුණාතිලකගෙන් විනා වෙන කාගෙන් ඒ ගැන විමසන්නද?
"ඒ වගේ මතයක් කාලයක් තිබුණා. මේ ළඟදී ඔය මතය වෙනස් වුණා. ශලනි තාරකා ඔය සම්මාන දෙකම ගත්තානේ. එයාට ඕනේම චරිතයක් හොඳට රඟපාන්න පුළුවන්. රංගන ශිල්පිනියක් වුණාම ලස්සන තියෙන්න ඕනේ වගේම දක්ෂතාව තියෙන්නත් ඕනේ. ලස්සන වුණු පළියට ජනප්‍රිය වෙන්න බැහැ. රඟපාන එක මිනිස්සුන්ට දැනෙන්න රඟපාන්න ඕනේ. ඒ චරිතයට මිනිස්සු ආදරය කරන්න ඕනේ."
නිර්මාණි බණ්ඩාරනායක