ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සුබපැතුම් පණිවුඩයක් එක් කරමින් කියා සිටියේ යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධන පෙන්නුම් කරන සමාජ දර්ශකයක් බවයි.
ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් ද සපයා ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
රටකි, දැයකි, ලොවකි, ඇය යන්න මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව කොට ගැනීම අතිශයින් කාලෝචිත බවට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ තවදුරටත් සඳහන්.
එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් එක් කරමින් කියා සිටියේ ලෝකයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක්දිනයක් සැමරීමට වෙන් වුවද සෑම මොහොතක්ම කාන්තාවගේ අයිතීන් වෙනුවෙන් වෙන් විය යුතු බව තමන් විශ්වාස කරන බවයි.
කාන්තා දිනයට සමගාමීව ආශිර්වාද පූජාවක් කැළණිය රජමහා විහාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහ එම ආර්යාව ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ පැවැත්වුණා.
බෝධීන් වහන්සේට මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව කැළණිය චෛත්‍යරාජයාණන් වහන්සේ ආලෝකමත් කිරීම ද සිදුවූයේ අග්‍රාමාත්‍යවරයාගේ සුරතින්.
ආලෝක පූජාවෙන් අනතුරුව කැළණිය චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස දී ආශිර්වාද පූජාවක් ද පැවැත්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.