අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවකට ගොනු කෙරුණු අධි චෝදනා අද මහාධිකරණයේදී කියවනු ලැබුවා.
රථය අපරික්ෂාකාරීව පැදවීම, වේගයෙන් පැදවීම, මාර්ගය භාවිත කරන අන්අය ගැන නොසැලකිල්ලෙන් රථය පැදවීම, අවශ්‍ය පරිදි සැලකිලිමත් නොවී රථය පදවා සංදීප් සම්පත් නැමැති අයට බරපතල තුවාල සිදුකිරීම ඇතුලු චෝදනා ඒ අතර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් පැදවූ ජීප් රථයක් රාජගිරිය ප්‍රදේශය පසුකර යාමේදී සංදීප් සම්පත් තරුණයා අනතුරට පත්වීමෙන් බරපතල තුවාල ලැබුවේ 2016 වසරේ පෙබරවාරි 28 වනදායි.
පාඨලී චම්පික රණවක සිදුවීමෙන් වසර 03 කට පමණ පසුව රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු අතර, පසුව ඇප මත මුදාහැරුණා.
ඊට අදාළ නඩුව අද යළි කැඳවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ ඉදිරියේයි.
එහිදී අධිකරණය නිකුත් කර තිබූ සිතාසි අනුව සිද්ධියේ වින්දිත පාර්ශ්වය වන බරපතල තුවාල ලැබූ සංදීප් සම්පත් සහ සාක්ෂිකරුවන් තිදෙනෙක් පළමුවරට අධිකරණය හමුවේ පෙනී සිටියා. සංදීප් අද එහි පැමිණියේ රෝද පුටුවක ආධාරයෙන්.
කෙසේ වෙතත්, කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට යුද හමුදා රෝහලට ගොස් ඇති බව පවසමින් පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට පැමිණ සිටියේ නැහැ.
අදාළ චෝදනා විභාග කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් මූලික විරෝධතා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව විත්තිකාර පාර්ශ්වයේ කණිෂ්ඨ නීතිඥයා අධිකරණය හමුවේ සඳහන් කළා.
ඊට විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේ විත්තිකරු අදාල චෝදනා සම්බන්ධයෙන් ඇප ලබා ගැනීමෙන් පසු දැන් විරෝධතා ගොනු කිරීමට අවශ්‍ය බව පැවසීම සුදුසු නොවන බවයි.
වින්දිත පාර්ශ්වය රෝද පුටුවකින් අධිකරණයට පැමිණ සිටියදී පවා එන්නතක් විදගැනීමට යැයි පවසා විත්තියේ ජනාධිපති නීතිඥවරයා නොපැමිණීම සම්බන්ධයෙන් අවධානය යොමුකර සුදුසු තීරණයක් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
අනතුර සිදුවන අවස්ථාවේ විත්තිකාර පාඨලී චම්පික රණවක පැදවූ විදුලිබල අමාත්‍යාංශයට අයත්ව තිබූ ජීප් රථය මේ වනවිට මුදල් අමාත්‍යාංශයේ තිබෙන බැවින් මීළඟ නඩු දිනයේදී එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන්නැයි ඔහු තවදුරටත් ඉල්ලා සිටියා.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ නියෝග කළේ නඩුව යළි අප්‍රේල් 27 වනදා කැඳවන ලෙසයි.
VIDEO