බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකත්වයට ඇන්ජෙලෝ මැතිව්ස් නම්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
තේරීම් කමිටුව විසින් මැතිව්ස් නායකත්වයට පත්කර ඇත්තේ නායක දසුන් ශානකට විසා නොලැබීම හමුවේ තවමත් කණ්ඩායම සමග එක්වීමට නොහැකිවීම හේතුවෙන්.
දසුන් ශානකට තවමත් මෙරට රැදීසිටින අතර ඔහුට කොදෙව් දේශය බලා පිටත්ව යන්නට අමෙරිකාවේ සිට අතරමැදි වීසා තවමත් ලැබී නැහැ.
එම ගැටලුව නිරාකරණය කර ශානකට වීසා ලැබුණත්, කොදෙව් දේශයේ තිබෙන නිරෝධායන නිතී රිතීන්ට අනුව විදෙස් රටක සිට පැමිණෙන්නට දින 3ක කාළයක් නිරෝධායන සදහා යොමුවීම අනිවාර්ය වනවා.
මේ හේතුවෙන් ඔහුට බොහෝ දුරට පන්දුවාර 20 තරගාවලියේ මුල් තරග කිහිපය මගහැරෙනු ඇති.
වැඩබලන පන්දුවාර 20 නායකත්වය ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්නට ලබා දීම කෙරෙහිත් කණ්ඩායම් කළමනාකාරීත්වයේ අවධානය යොමු වී තිබුණා.
මේ අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත මේවන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කොදෙව් එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායම් වල සුක්කානම හිමිව තිබෙන්නේ කිරන් පොලාඩ්ටයි.
එමෙන්ම කොදෙව් පන්දුවාර 20 සංචිතය සදහා වසර 2කට පසු සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් සහ වසර නවයකට පසු වේග පන්දු යවන ක්‍රීඩක ෆිඩෙල් එඩ්වඩ්ස් කොදෙව් සංචිතයට කැදවන්නට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබීමත් කැපී පෙනෙනවා.