අළුත්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අපහසුතාවයට පත්වන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම ඇතුළු චෝදනා එකොළහක් යටතේ සිදු කළ පරීක්ෂණ ප්‍රතිඵල හේතුවෙන් එම පොලිසියේ සේවය නියුතුව සිටි උප පොලිස් පරීක්ෂකවරයකු වූ දමිත් ජයතිලක මහතාගේ රාජකාරිය වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය 22 වැනිදා අත්හිටුවා තිබේ.
කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නියෝග මත සිදුකළ පරීක්ෂණ ප්‍රතිඵල අනුව එම පොලිස් නිලධාරියාට චෝදනා එකොළහක් යටතේ ගොනු කර තිබෙන චෝදනා පත්‍රයක් ලබාදී සේවය අත්හිටුවීමට කටයුතු කර ඇතැයි කළුතර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා පැවසීය.
සිය සේවා ස්ථානය වූ අලූත්ගම පොලිස් ස්ථානයට සහ පොලිස් ස්ථානාධිපතිවරයාටත්, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු නොකළ යුතු ආකාරයේ අපහාසාත්මක වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරියේ යැයි එම නිලධාරියාට චෝදනා එල්ල වී තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ වසර නවයක කාලයක් සේවය කර ඇති මෙම නිලධාරියා මොරටුව පොලිස් ස්ථානයෙන් පසුව වසර දෙකකට වැඩි කාලයක් අලූත්ගම පොලිසියේ සේවය කර තිබියදී මෙලෙස සේවය අත්හිටුවා ඇත.
මහිලාල් පද්මසූරිය - අගලවත්ත
දිවයින