නාරාහේන්පිට දී මෝටර් රථයක් තුළ පිළිස්සී මියගිය රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා රස පරීක්ෂක වාර්තා තොරතුරුවල පරස්පරතා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.
අදාළ වාර්තාවල පවතින පරස්පරතා පිළිබඳ සඳහන් කර ඉදිරියේදී ගත යුතු නීතිමය කරුණු පිළිබඳව හා මෙම පරීක්ෂණ නැවත කැඳවනවාද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමට නියමිත බව ද රහස් පොලිසිය සඳහන් කළා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් හා තවත් පුද්ගලික දුරකථන සමාගමකින් දුරකථන වාර්තා කැඳවා ඇතත් ඔවුන් දුරකථන වාර්තා මේ දක්වා ලබා දී නොමැති බව පැවසූ රහස් පොලිසිය අදාළ දුරකථන වාර්තා නොදීම සම්බන්ධයෙන් එම නිලධාරීන් අධිකරණයට කැඳවා කරුණු විමසන ලෙසට ඉල්ලා සිටියා.
2012 මැයි 17 දින නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ මෝටර් රථයක් තුළ පිළිස්සී මියගිය තාජුඩීන්ගේ මරණය සැක සහිත මරණයක් බැවින් යුක්තිය ඉෂ්ට කිරීම සඳහා මෙම පරීක්ෂණ පැවැත්වෙන බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ක්‍රීඩකයාගේ මරණය මෝටර් රථය අනතුරට පත්වීමෙන් පසුව ඇතිවූ ගින්නකින් පිළිස්සි මිය ගියේද? යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ බවත් ඒ අනුව අදාළ රථය නිෂ්පාදිත සමාගමේ වාර්තාවක් කැඳවා ඇති බවත් සඳහන් වුණා.
මේ වන විට පුද්ගලයින් 21 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සටහන් හා ඡායාරූප අධිකරණයේ නියෝගය මත කැඳවා ඇති අතර එක් අධිකරණ වෛද්‍ය දයානි වීරරත්න මහත්මිය මේ වන විට තොරතුරු ලබා දී ඇති බවට කරුණු ඉදිරිපත් කෙරුණා.
පරස්පරතා පවතින වාර්තා අනුව එක් වාර්තාවක මරණකරුගේ ශරීරයට කාබන් මොනොක්සයිඩ් වායුව ඇතුළු වී ඇති බවට සඳහන් කර ඇතත්, අනෙක් වාර්තා වේ එසේ ඇතුළත් වී ඇති බවට සඳහන් නොවන බව කරුණු ඉදිරිපත් කර තිබුණා.