කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනැවිත් භාර දුන් ඒ මහතා සන්තකයේ සිටි 'චූටි මහත්තයා ' නමින් හඳුන්වනු ලබන අලි පැටවා ඊයේ (04) පින්නවල අලි අනාථාගාරයට රැගෙන යනු ලැබුවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය සුහද ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මහෙස්ත්‍රාත්වරයාගේ අලි පැටවා පින්නවල අලි අනාථාගාරයට රැගෙන යාම සිදු කළා.
අලි පැටවාගේ වයස අවුරුදු 11ක් පමණ ද උස අඩි 7කට ආසන්න වන බව ද වනජීවී නිලධාරීහු පවසනවා.
අලි පැටවාගේ තුවාල දක්නට නොමැති බවත් මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් වනජීවී පශු වෛද්‍යවරු පෙන්වා දෙනවා.
මේ අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයේ සඳහන් පරිදි අලි 11 දෙනාගෙන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන පින්නවල අලි සංරක්ෂණාගාරයේ රඳවා සිටින අතර මෙම අලි පිරිස ද සමග සංරක්ෂණාගාරයේ අලි ගණන 89 දක්වා ඉහළ ගොස් තිබෙනවා.