අදටත් ඒ හැම දෙයක්ම ඔවුන්ට සිහිනයක්ම පමණක් වෙලා. අවුරුදු සිරිය යන්නත් මත්තෙන් ඔවුන් ගැන ඇසුණු ඒ සංවේදී කතාව නිසා අද බොහෝ දෙනෙක් සංවේගයට පත්වෙලා.
මතුපිටින් පෙනෙන දියයට ඇති බියකරු බව නොදැන අලුත් අවුරුදු සමයේ කොබෙයිගනේ, දැදුරු ඔයේ කුරිටියාගහ මුල මංකඩේ දිය නෑමට ගිය පිරිසකගෙන් දරුවන් තිදෙනෙකු ඇතුළු අට දෙනකු දියේ ගිලී මරුමුවට පත්වීමේ සිද්ධියෙන් එම ප්‍රදේශයම එකම මළගමක් බවට පත්ව තිබෙන්නේ අන්න ඒ නිසයි..
"සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරලා ඒ සතුට විඳින්න ගිය අපේ අයට මෙහෙම දෙයක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ දෙයියනේ.." යැයි අවාසනාවන්ත අන්දමින් දියේ ගිලී මිය ගිය අයගේ ඥාතියෙක් හැඬු කඳුළින් පැවසුවේ එපමණකි.
මෙලෙස අවාසනාවන්ත අන්දමින් මිය ගොස් ඇත්තේ කඩවත සහ කොබෙයිගනේ දඩවෙල ප්‍රදේශයේ පිරිසක්. මියගිය අය අතර පිරිමි දරුවන් තිදෙනකු ද, වැඩිහිටි පිරිමි පුද්ගලයන් තිදෙනකු ද, වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බවයි මේ වන විට වාර්තා වෙන්නේ. මියගිය අය අතර එකම පවුලේ පස් දෙනෙකු සිටින අතර, මෙම පිරිස කොබෙයි ගනේ දැඹලයාගම ප්‍රදේශයේ පදිංචි නැදෑ ගෙදරකට පෙරේදා (16දා) පැමිණ තිබුණා.
දියේ ගිලී සිටියදී බේරාගත් තවත් කාන්තාවක හා පිරිමි පුද්ගලයකු කොබෙයිගනේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වැඩිදුරටත් දැනගන්නට ලැබුණා.
පිරිස දහවල් ආහාරය ගෙන සවස් යාමයේ මියගිය පිරිස ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් දැදුරුඔයේ කුරිටියාගහ මුල මංකඩේ දිය නෑමට ගොස් තිබෙනවා.
බොහොම සතුටින් අවුරුදු සමරන්නට සිය නෑදෑ හිතමිතුරන් සමග පැමිණි පිරිස සතුට මළගමක් බවට පත්වේ යැයි කිසි ලෙසකින්වත් සිතන්නට නැතුව ඇති. දිය මතුපිට පෙනෙන සන්සුන් බව දියයට තිබෙන මාරක සැඩ පහර සිය ආදරණීයන්ගේ ජීවිත මෙලෙසින් බිලිගනීවි යැයි සිහිනෙකින්වත් සිතන්නට නැතුව ඇති..
15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මංකඩට බැස දියනාමින් සිටියදී ඔවුන් එකවරම දියේ ගිලෙන්නට පටන්ගෙන තිබුණා. ඒ අවස්ථාවේ ප්‍රදේශවාසීන් පොලිසිය හා නාවික හමුදාව ද දැනුවත් කර තිබෙනවා.
නාවික හමුදාව පැමිණෙන තුරු එම ප්‍රදේශවාසීහු දියේ ගිලුනු පිරිස බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වුණා.
එම පිරිසෙන් හත් දෙනකු බේරා ගත්ත ද තවත් අට දෙනෙක් දියේ ගිලී අතුරුදන්ව සිටියා.
පසුව නාවික හමුදාව එම ස්ථානයට ළඟා වූ අතර, ඔවුහු බෝට්ටු මගින් ගොස් දිය යට සැඟව සිටි පිරිසගේ සිරුරු ගොඩට රැගෙන ආ අතර, අවාසනාවන්ත අන්දමින් මියගිය එම අට දෙනාගේ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය නිකවැරටිය රෝහලදී ඊයේ සිදු කෙරුණා..