වේයන්ගොඩදී දුම්රියකට පැන දිවි නසාගත් පුද්ගලකු දුම්රියට පනින අවස්ථාවේ දී ඔහුව අල්ලාගෙන සිටි හඳුනා නොගත් කාන්තාවක පිළිබඳව වතුපිටිවල රෝහලේදී පැවැති මරණ පරීක්‍ෂණයේදී හෙළිවී තිබෙනවා.
එවැනි කාන්තාවක් පිළිබඳව මරණයට පත් පුද්ගලයාගේ කිසිවකු හෝ නොදන්නා අතර ඔහුගේ බිරිඳ ද ඔහු හැරගොස් සිටිනවා.
මා ධාවනය කරවූ දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්‌ථානයට ළඟාවෙද්දී වේදිකාවේ වැසිකිළිය අසල පිරිමි කෙනෙකු අල්ලගෙන කාන්තාවක් සිටිනු දුටුවා. ක්‍ෂණයෙන් කාන්තාව හැරදැමූ ඔහු දුම්රියට පැන්නා. ඒ සමඟම නිල් පැහැති හැට්‌ටයක් හා කලිසමක් හැඳසිටි කාන්තාව වේගයෙන් පලා යනු දුටුවා.
ප්‍රධාන දුම්රිය මාර්ගයේ වේයන්ගොඩදී දිවි නසාගත් මීරිගම කැප්පෙටිවලාන පදිංචිව සිටි නිහාල් රංජන් නමැති අයගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්‍ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඉදිරියේ වතුපිටිවල රෝහලේදී පැවැති මරණ පරීක්‍ෂණයේදී සාක්‌ෂි දුන් අනතුරට ලක්‌වූ දුම්රියේ රියදුරු ගාමිණී නුගවෙල මහතා සාක්‌ෂි දෙමින් සඳහන් කළේ මෙම කාන්තාව කලිසමක් හැඳ සිටි බවයි.
"දුම්රිය ගමන් ආරම්භ කළේ මීරිගම දුම්රිය ස්‌ථානයෙන්. එය සීඝ්‍රගාමී දුම්රියක්. මීරිගම සිට වේයන්ගොඩ දක්‌වා එය සීග්‍රගාමීව ධාවනය කළා. වේයන්ගොඩ දුම්රිය ස්‌ථානයේ දෙවැනි වේදිකාවට දුම්රිය ළඟාවෙද්දි කාන්තාව සමඟ සිටි තරුණයා දුම්රියට පනිනවාත් සමඟම මගේ අවධානය යොමුවුණේ ඔහු සමඟ සිට පැන දුවපු කාන්තාව දෙසයි. ඇය දිග කලිසමක් හා නිල්පාට "ටීෂර්ට්" එකක් හැඳ සිටියා."යැයි දුම්රියේ රියදුරු සඳහන් කළා.
මියගිය අයගේ බිරිඳ වන මුදලිගේ සමන්ති ගීතමාලා මෙහිදි සාක්‌ෂි දෙමින් සඳහන් කළේ තමන් කසාද බැඳ අවුරුද්දක් වන අතර මාස දෙකකට වඩා එකට ජීවත් නොවූ බවයි.
"ඔහුට පිට් එක හැදෙන බව දැනගත්තා. ඊට පසු මම ජීවත්වුණේ වෙනමයි. මිය ගොස් ඇත්තේ මගේ නීත්‍යානුකූල සැමියා බව පිළිගන්නවා. ඒත් මා සමඟ ඔහු දුම්රිය ස්‌ථානයට ආවේ නැහැ. අදාළ දවසේ උදේ පොලිසියේ මහත්මයෙක් අපේ ගෙරදට ඇවිත් කීවා නිහාල් රංජන් දුම්රියට පැනලා දිවි නසාගෙන බව. මම මෙහි ආවේ ඒ අනුවයි. එසේ නැතිව මම ඔහු සමඟ දුම්රිය ස්‌ථානයට ආවේ නැහැ." යැයි ද මියගිය අයගේ බිරිඳ සඳහන් කළා.