දෙමාපියන් මීට වඩා ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කළා නම් වැලිගම දී මුහුදට බිලිවූ දරුවන් දෙදෙනාගේ ජීවිත දෙකම රැකගත හැකිව තිබූ බව වැලිගම ග්‍රාමීය හදිසි මරණ පරීක්‌ෂක කේ. එච්. ධනපාල මහතා පවසනවා.
වැලිගම නගරාසන්න පැලෑන මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැළකට හසුව ජීවිතක්‌ෂයට පත්වූ තරුශි හසාරා දික්‌කුඹුර සහ නවීන් තීක්‌ෂණ දික්‌කුඹුර නමැති පාසල් දරුවන්ගේ හදිසි මරණයේ සාක්‌ෂි සටහන් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
මියගිය දරුවන්ගේ පියා උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේදී තුවාල ලබා ආබාධිතවූ සෙබළෙක්.
මෙහිදී සාක්‌ෂි ලබාදුන් මියගිය දැරියගේ පියා වන දික්‌කුඹුරගේ සුමිත් මහතා සඳහන් කළේ මියගිය දියණියත් ඒවනවිට මුහුදේ අතුරුදන්ව සිටි පුතාටත් අමතරව තවත් අවුරුදු 4 ක පමණ පුතෙකු තමන්ට සිටින බවයි.
" මියගොස් ඇති දුව වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විදුහලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. පුතා මාතර රාහුල විදුහලේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. සිද්ධිය වූ අප්‍රේල් 16 වැනිදා මාත් බිරියත් දරුවනුත් බිරිඳගේ අයියාගේ හා මල්ලීගේ පුතුන් දෙදෙනාත් අවුරුද්දට බිරිඳගේ වැලිගම අක්‌කලාගේ ගෙදරට පැමිණියා. සිද්ධිය වූයේ එහිදියි. බිරියගේ අක්‌කලාගේ ගෙදර තිබෙන්නේ මුහුද ආසන්නයේයි. දහවල් කෑමෙන් පසුව දරුවන් මුහුදේ නාන්නට කතා කළ නිසා මා ඔවුන් මුහුදු තීරයට එක්‌ක ගියා. ඒ ගමනට බිරියගේ අක්‌කාගේ දියණියන් දෙදෙනාත් එක් වුණා. දරුවන් මුහුදේ ගසාගෙන යනවා දුටු මා සහ ප්‍රදේශවාසීන් වෙරළේ බැඳ දමා තිබූ බෝට්‌ටුවක් ලිහාගෙන මුහුද මැද්දට ගියා.
අපි ඉතා වෙහෙස වී දරුවන් 5 දෙනකු බෝට්‌ටුවට ගොඩ ගත්තත් මාගේ පුතා වන නවීන් තීක්‌ෂණ සොයා ගන්නට බැරි වුණා. මා වහාම ත්‍රිරෝද රථයකින් වැලිගම දිසා රෝහලට දරුවන් රැගෙන ගියත් ඒ වන විටත් තරුශි හසාරා දුව මියගොස් ඇති බව දැනගන්නට ලැබුණා."