අපවත් වී වදාළ අස්ගිරි මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ්‍රී දේහය අද (12) පස්වරුවේ මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කෙරුණා. ඒ, ගිහි පැවිදි අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.
ශ්‍රී දේහය රැගත් රථ පෙරහර පස්වරු 1 ට අස්ගිරි මහා විහාරයෙන් පිටත් වුණා. පස්වරු 2.30 පමණ වනවිට එය ආදාහන පූජෝත්සවය පැවති මහනුවර පොලිස් ක්‍රීඩාංගනයට ළඟා වූ අතර, මඟ දෙපස රැස්වූ ජනතාව උන්වහන්සේට තම අවසන් ගෞරවය පුදකළා.
අස්ගිරි - මල්වතු අනුනායක හිමිවරුන් ප්‍රධාන කොටගත් මහසඟරුවන ශ්‍රී දේහය රැගත් පෙරහරට මෙන්ම පොලිස් ක්‍රීඩාංගනයටද එක්ව සිටියා. අනෙකුත් ආගමික පූජකවරුන් විශාල ප්‍රමාණයක්ද අස්ගිරි මහනාහිමියන්ට මෙහිදී අවසන් ගෞරවය පුදකළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්. විදෙස් තානාපතිවරුන් සහ තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක්ද අස්ගිරි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එක්වුණා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ ආරක්ෂක අංශ නිලධාරීන් අතිවිශාල ප්‍රමාණයක්ද මහනාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියා.
ආදාහන පූජෝත්සවයේ වැඩකටයුතු ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සිදුකළේ බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දිසානායකයි. අනතුරුව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ගලගම අත්තදස්සී නාහිමිපාණන් වහන්සේ පිරිස පංච ශීලයේ පිහිටුවමින් ආගමික වතාවත් සිදුකරනු ලැබුවා. අස්ගිරි පාර්ශවය වෙනුවෙන් අනුශාසනාව සිදුකළේ එහි කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන්.
මල්වතු මහා විහාරය වෙනුවෙන් අනුශාසනාව සිදුකළේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමියන් විසින්.