වතු කම්කරුවෙකුගේ අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ රජයේ තීරණය සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සාකච්ඡාවක් කොළඹදී අද පැවැත්වෙනවා.
මෙහිදී රජයේ යෝජනාව ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගැනීමට නියමිත බවයි එම සංගමයේ නියෝජිතයෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.
අවසන් වරට වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ නංවමින් වතු හාම්පුතුන් සහ රජය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණේ පසුගිය වසරේ ජනවාරි 28 වනදායි.
එහිදී වතු කම්කරුවෙකුගේ අවම දෛනික වැටුප රුපියල් 700 ක් දක්වා ඉහළ නංවනු ලැබුවා.
ඉන් පසුව තවත් රුපියල් 50 කින් වතු කම්කරු වැටුප වැඩි කිරීමට පසුගිය රජය කැබිනට් යෝජනාවක් සම්මත කරගත්තද එය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
කෙසේ වෙතත් එම වැටුප රුපියල් දහස දක්වා ඉහළ නංවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූ අතර, පෙරේදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ මේ වසරේ මාර්තු මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවෙකුගේ අවම වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමටයි.
මේ සම්බන්ධයෙන් නිල වශයෙන් වතු හාම්පුතුන්ට මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම සංගමයේ නියෝජිතයා සඳහන් කළා.
කෙසේ වෙතත් පළවී ඇති මාධ්‍ය වාර්තා සැළකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සංගමයේ නියෝජිතයින් අද රැස්වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.