වාට්ටු දෙකක් සහ වෛද්‍ය නිල නිවසක් ඇතුළු සියලුම යටිතල පහසුකම් සපිරී තිබුණද, මෙම රෝහලේ ප්‍රතිකාර කිරීමට එකම එක වෛද්‍යවරයෙකුවත් නැතිවීම නිසා අසරණ වී සිටින්නේ ප්‍රදේශයේ අහිංසක ජනතාවයි.
මේ වන විට ගම්බිරිගස්වැව, පලුගොල්ලෑව, අලුත්ගම ඇතුළු ගම්මාන රැසක දහස් ගණනක් ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින අතර, මුළු රෝහලටම දැනට සේවය කරන්නේ එක් සේවිකාවක් පමණක් බවයි වාර්තා වන්නේ. රෝහලේ සේවය කළ එකම වෛද්‍යවරියද මීට මසකට පමණ පෙර වෙනත් ස්ථානයකට ඉවත්ව ගොස් ඇති අතර එතැන් සිට මේ දක්වා වෙනත් කිසිදු වෛද්‍යවරයෙකු අනුයුක්ත කර නැහැ.
මේ හේතුවෙන් රෝගීන්ට සුළු ප්‍රතිකාරයක් හෝ සායනික පහසුකමක් ලබා ගැනීමට පවා කිලෝමීටර් 28ක් තරම් ඈතින් පිහිටි අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යාමට සිදුව තිබෙනවා. ප්‍රදේශයේ පවතින උග්‍ර වන අලි තර්ජනය හමුවේ රාත්‍රී කාලයට මෙම දුර ප්‍රමාණය ගෙවා රෝහල් වෙත යාම ජීවිතයත් එක්ක කරන සූදුවක් බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.
තමන්ගේ ජීවිත බේරාගැනීමට ඇති එකම රෝහල රැකදෙන ලෙසත්, වහාම ක්‍රියාත්මක වන පරිදි වෛද්‍යවරයෙකු ලබාදෙන ලෙසත් ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.