වායු දූෂණයෙන් ශ්‍රී ලංකාවේ වසරකට 7000ක් අකාලයේ මියයන බව ඔබ දැන සිටියාද..? මේ අන්න ඒ ගැන මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන අනතුරු ඇඟවීමක් ගැන ඇසෙන කතාවක්.
වායු දූෂණය හේතුවෙන් ඇතිවන සංකූලතා හා රෝගාබාධ නිසා ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම පුද්ගලයන් 7000 ක් පමණ අකාලයේ මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, වායු දූෂණය හේතුවෙන් ජනතාව දැඩි සෞඛ්‍ය තර්ජනයකට ලක්ව ඇති බවයි.
මෙහිදී සිදුවන ප්‍රධාන සෞඛ්‍ය බලපෑම් අතරට,ශ්වසන පද්ධතියට එල්ල වන බලපෑම් පෙන්වාදිය හැකියි. ඒ අතර ඇදුම, හතිය, දිගුකාලීන පෙනහැලි රෝග සහ පෙනහැලි පිළිකා ගැන දැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්..
මේ නිසා ඇතිවෙන අනෙකුත් රෝගාබාධ අතරට අංශභාගය (Strokes) ඇතුළු හෘද හා රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත සංකූලතා පිළිබඳ අවදානය යොමුව තිබෙනවා.
මේ අතර, වාතයේ අඩංගු කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායු මෙන්ම P.M. 2.5 ට අඩු ඉතා සියුම් අංශු ශ්වසනය මගින් පෙනහැලි තුළට ගමන් කර රුධිරයට මිශ්‍ර වීම මෙම රෝගාබාධවලට ප්‍රධාන හේතුව වී ඇති බවයි හෙළිවී ඇත්තේ..
වායු දූෂණයට බලපාන ප්‍රධාන හේතු ලෙස,
මෝටර් රථ සහ වාහන දුම (ප්‍රධානතම හේතුව), කර්මාන්තශාලා මගින් පිටවන දුමාරය, එළිමහනේ කැලිකසල සහ අපද්‍රව්‍ය ගිනි තැබීම, දර භාවිතයෙන් ඉවුම් පිහුම් කටයුතු කිරීම ආදිය පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, මෙම අවධානම් තත්ත්වයෙන් මිදීම සඳහා පරිසරයට අපද්‍රව්‍ය සහ දුමාරය මුදා හැරීමේදී නියමිත සෞඛ්‍ය හා පාරිසරික උපදෙස් අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කරන ලෙස වෛද්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබන අතරම, මෙම මාධ්‍ය හමුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සමරවීර මහත්මියද එක්ව සිටියා.