අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 86ක්.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ආරම්භක නියමුවා ලෙස කටයුතු කරමින්, මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට 'ජන සන්නිවේදනය' විෂය ශාස්ත්‍රීය මට්ටමින් හඳුන්වා දීමට මුලපිරූ ප්‍රධානතම විද්වතාණන් වන්නේ ද මහාචාර්ය විමල් දිසානායකයන් ය.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, පසුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිංහල, සංස්කෘත හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය හදාරමින් සිංහල පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගත් එතුමා, පේරාදෙණිය ගුරුකුලයෙන් බිහි වූ විශිෂ්ට ස්වාධීන බුද්ධිමතෙකි.
පසුව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත් මහාචාර්යවරයා, 1975 වසරේදී විශේෂ අධිශිෂ්‍යත්වයක් හිමිකරගනිමින් පෙන්සිල්වේනියා සරසවියෙන් ජන සන්නිවේදනය හා සිනමාව පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධිය ද හිමිකර ගත්තේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ පළමු අංශාධිපතිවරයා ලෙස අගනා මෙහෙවරක් ඉටු කළ ඒ මහතා, 1979 වසරේදී ඇමරිකාවේ හවායි විශ්වවිද්‍යාලයේ පත්වීමක් ලැබ විදේශගත විය. අභාවප්‍රාප්ත වන විටත් එතුමා හවායි විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයා ලෙසත්, හොංකොං විශ්වවිද්‍යාලයේ සම්මාන මහාචාර්යවරයා ලෙසත් කටයුතු කරමින් සිටියේය.