කහවත්ත කොටකෙතන ලංකාවේ වඩාත් ප්‍රසිද්ධියට පත්වුණේ වැඩිහිටි කාන්තාවන් අතුරුදන්වී ඝාතනය විමේ සිද්ධි මාලාවක් නිසායි. වසර දෙකක නිහඬව සිටි කොටකෙතනේ මිනිසුන් යළිත් භීතියෙන් ඇලලෙන්නට වුවේ පසුගිය පස් වැනි දා අලූයම චන්‍ද්‍රා මල්කාන්ති අතුරුදහන් වීමත් සමගයි.
දැන් ඇගේ සිරුරත් කොටකෙතන ඇලේ තිබිය දී හමුවීමත් සමඟ එකම මෑත කාලයේ ඝාතනයට ලක්වූ 18 වැන්නා ලෙස ඇය පොලිස් පොතට එක්වුණා. ඇගේ අතුරුදන්වීම ද පෙර අතුරුදන්වීම් වලට යම් සමානකමක් පෙනේ. කොටකෙතන කී විට ඒ වරාපිටිය, නිලඳුර, ඕපාත සහ දිඹුල්වල යන ගම් රැසම ඊට අයත් වනවා.
මේ ගම් ආශ්‍රිතව වැඩිහිටි කාන්තාවන් ඝාතනය වන්නට පටන් ගත්තේ 2008 වර්ෂයේ සිටයි. ඒ වර්ෂයේ ජූලි මාසයේ සිට 2012 වර්ෂය දක්වා සිදුවූ ඝාතන ගණන නවයක්.
ඒවා සියල්ලම තනි ඝාතන ලෙස සිදුවු අතර ඇතැම් සිදුවීම් වලදී ඝාතනයට ලක්වු කාන්තාවන් මේ අකාරයටම අතුරුදන් වු බව ගැමියන්ගේ අදහසයි. ඔවුන්ගේ සිරුරු හමුවුයේ දින කිහිපයකට පසුවයි. ඇතැම් සිරුරු හමු වුණේ අපරාධය වු තැන සිටි බොහෝ දුර තිබියදීයි.
මේ හැම ඝාතනයකදීම තියුණු ආයුධ භාවිතා කළ අතර ඇතැම් ඝාතනවල ඉලක්ක වුයේ තනිව ජිවත් වු වයස්ගත කාන්තාවන්. එක්කෙනා බැගින් මුලින් ඝාතන වාර්තා වූ අතර එක්කෙනා දෙදෙනා බවට පත්වුයේ 2012 වසරේ පෙබරවාරි මාසයේදීයි.
කොටකෙතන පදිංචි පිලානගොඩ කන්දගේ නයනා නිල්මිණී (52) මව සහ එස්.එච්. කාවිද්‍යා චතුරංගනි සෙල්ලහේවා (19) යන මව සහ දියණිය මෙලෙස ඝාතනය කර තිබුණේ 2012 පෙරවාරි 12 වන දිනයි.
ඒ සමග කොටකෙතන කාන්තා ඝාතන ගණන එකොළහ දක්වා ඉහළ නැග්ගේය. මෙතෙක් වැඩිහිටි කාන්තාවන් පමණක් ඝාතනයවු කොටකෙතන ගමේ 19 හැවිරිදි තරුණියක ඝාතනයවු පළමු අවස්ථාව මෙය වුණා. මීටපෙර සිදුවු ඝාතන නවය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයන් ඒ වනවිට රිමාන්ඩ් බන්‍ධනාගාරයේ සිටි නිසා ද්විත්ව ඝාතනයේ සැකකරු වෙනත් පුද්ගලයන් විය යුතුය යන්න පොලීසියේ විශ්වාසය වුණා.
ඝාතන නවයක සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවත් ගම්මුන් වැඩිදෙනෙක් එදා පැවසුවේ තවදුරටත් කාන්තාවන්ම ඝාතනය කිරීම තමන්ටද ප්‍රහේලිකාවක් බවයි. මෙම ද්විත්ව ඝාතන සිදුවී හරියටම මාස හතරකට පමණ පසු මැයි 31දා කොටකෙතන වරාපිටියේදී තවත් ද්විත්ව ඝාතනයක් සිදුවුණා.
මෙවර ඝාතනයට ලක්වුනේ වරාපිටිය ගමේ පදිංචිව සිටි සේතුංගගේ දයාවතී (61) නම් වැන්දඹු කාන්තාව සහ ඇගේ නැගණිය වු සේතුංගගේ තිලකාවතී (51) යන අවිවාහක කාන්තාවයි. මෙම දෙදෙනා ඝාතනය කර නිවසට ගිනි තබා තිබීමත් සමග ඝාතන සංඛ්‍යාව දහතුන දක්වා ඉහළ ගියා.
ඉන් පසු කොටකෙතන ගමේ පොලිස්මුරපොළක් ද පිහිටවනු ලැබූවත් 2012 වසරේ ජූලි 19දා රාත්‍රිය කොටකොතනට යළිත් පැමිණි මරණයේ සෙවනැළි එල්.ඒ.ප්‍රේමලතා (65) සහ ඇගේ දියණිය වූ තිස් දෙහැවිරිදි එච්.ජී.පුෂ්පා කුමාරි(32) ගින්නට බිළිගත්තා.
මේ සිද්ධීන් යටපත් වෙමින් තිබියදී 2012 වසරේ ඔක්තෝම්බර් 31දා රාත්‍රී කොටකෙතන වරාපිටියේ පන්සල පාරේ පදිංචිව සිටි දෙදරු මවකවූ යූ.ඞී. චන්‍ද්‍රාවතී (66) ඝාතනයට ලක්වූයේ මියගිය දාසය වැන්නිය ලෙසයි.
මෙම ඝාතනයෙන් පසු 2013 සහ 2014 වර්ෂවල ඝාතනය සිදු නොවූවත් 2015 වසරේ ජනවාරි මාසයේ 15 තෛපාන්ගල් දිනයදා ඕපාත වත්තේ දෙමළ ජාතික තරුණියක් දාහත්වැනි කාන්තා බිල්ල බවට පත්වුණා.
චන්‍ද්‍රා මල්කාන්ති හෙවත් ‘‘කාන්ති අක්කා’’ 2015 අප්‍රේල් 04 දා රාත්‍රියේ අතුරුදන්ව ඇගේ සිරුර හමුවීමත් සමග කහවත්ත පොලිසියට එකම ගමක මරා දැමූ 18වැන්නිය ලෙස ඇගේ නම පොලිස් පොතට එක් කිරීමට සිදු වුණා.
තවත් කාන්තාවක් මේ ලැයිස්තුවට එක්වීමට පෙර නීතියේ ආධිපත්‍ය කොටකෙතනට බැල්ම හෙලයි නම් මරණයේ භීතිය අත්විඳින ඔවුන්ට මහා සැනසීමක් වන බව කාගේත් විශ්වාසයයි. මෙහි වීඩියෝව පහතින් නරඹන්න...VIDEO