බගවන්තලාව සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක අතරමංව සිටි වයස අවුරුදු 10ක කුඩා දැරියගේ දෙමාපියන් නෝර්වුඩ් පොලීසිය ඊයේ (01) සොයාගෙන තිබෙනවා.
බස් රථයේ ගමන් ගත් මගීන් විසින් ඊයේ පස්වරුවේ අදාළ කුඩා දැරිය පොලීසියට භාර දුන්නා. පසුව දැරියගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් හෙළි වී ඇත්තේ දිනපතා බීමත්ව පැමිණෙන පියාගේ වධ හිංසා විද දරා ගත නොහැකි නිසා නිවසින් පලා යාමට තීරණය කළ බවයි.
දැරියට තවත් සොහොයුරෙකු සහ සොහොයුරියක් සිටින අතර වැඩිමහල් සොහොයුරා ද මීට වසරකට පෙර නිවසින් පළා ගොස් ඇත්තේ පියාගේ වධ හිංසා හේතුවෙන්.
දැරියගේ පියා පෙදරේරුවෙකු වන අතර මව කම්කරු සේවයේ යෙදෙන්නියක බවයි වාර්තා වන්නේ. අදාළ පියා පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් සදහන් කළේ තමන් දිනකට 1500ක පමණ වැටුපක් ලබා ගන්නා බවත් වෙහෙසකර තත්ත්වය නිසා රුපියල් 800ක පමණ මත්පැන් පානය සඳහා හුරු වී ඇති බවයි.