පිටසක්වළ ජීවීන් ඇත්තටම ඉන්නවද? මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ඇමරිකාවේ නාසා ආයතනය තවත් දැවැන්ත පියවරක් තියලා තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ මීළඟ පරම්පරාවේ ප්‍රබලතම අභ්‍යවකාශ දුරේක්ෂය වන "නැන්සි ග්‍රේස් රෝමන්" (Nancy Grace Roman) සාර්ථකව අභ්‍යවකාශයට යැවීම!
පසුගිය ඉරිදා උදෑසන ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉඳන් ස්පේස්එක්ස් (SpaceX) රොකට්ටුවක ආධාරයෙන් තමයි මේ දැවැන්ත දුරේක්ෂය අභ්‍යවකාශයට යවලා තියෙන්නේ.
මේ අලුත් රෝමන් දුරේක්ෂය කොයි තරම් ප්‍රබලද කියනවා නම්, දැනට ලෝකේ තියෙන ප්‍රකට දුරේක්ෂ වෙන හබල් සහ ජේම්ස් වෙබ් දුරේක්ෂ දෙකටම වඩා 100 ගුණයක් විශාල දෘශ්‍ය පරාසයක් ආවරණය කරන්න මේකට පුළුවන්. ඒ කියන්නේ අභ්‍යවකාශයේ අතිවිශාල ප්‍රදේශයක දර්ශන එකවර කැමරාවට හසුකරගන්න මේ දුරේක්ෂයට හැකියාව තියෙනවා. කළු කුහර, අඳුරු ශක්තිය සහ අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට තියෙන ග්‍රහලෝක ගැන හොයන්න තමයි මේක විශේෂයෙන්ම යවලා තියෙන්නේ.
මේ ගැන කතා කරපු නාසා ආයතනයේ නිලධාරිනී නිකී ෆොක්ස් කියන්නේ, මේ දුරේක්ෂය හරහා අලුත්ම බාහිර ග්‍රහලෝක ලක්ෂයක් (100,000) විතර හොයාගන්න පුළුවන් වෙයි කියලා. "විශ්වයේ අපි තනිවෙලාද ඉන්නේ කියන ප්‍රශ්නෙට උත්තර හොයන එක තමයි අපේ ප්‍රධානම ඉලක්කය" කියලත් ඇය බීබීසීයට කියලා තිබුණා. ඒ වගේම ව්‍යාපෘති කළමනාකාරිනී ජැකී ටවුන්සෙන්ඩ් කිව්වේ අභ්‍යවකාශයට සිදු කළ මේ ගමන අතිශය සාර්ථක වගේම විස්මිත එකක් වුණා කියලයි.
මේ දැවැන්ත මෙහෙයුම සාර්ථකව අභ්‍යවකාශගත කිරීමෙන් පස්සේ තිබුණු විශේෂ මාධ්‍ය හමුවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාත් දුරකථනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. එතුමා මේ සුපිරි මෙහෙයුමට දායක වුණු විද්‍යාඥයින්ට සහ තාක්ෂණික ශිල්පීන්ට තමන්ගේ උණුසුම් සුබපැතුම් එකතු කරන්නත් අමතක කරලා නැහැ.