පොඩි අතපසුවීමකින් ලොකු නීතිමය අමාරුවක වැටෙන්නට ඉඩ ඇති කාරණයක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයෙන් අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ලබන 2027 වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමට හෙට (සැප්තැම්බර් 01) සිට නිල වශයෙන් අවස්ථාව හිමිවෙනවා. මේ සඳහා හරියටම මාස හතරක කාලයක්, එනම් 2026 දෙසැම්බර් 31 වනදා දක්වා කල් ලබාදීමටයි ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.
"පස්සේ කරමු" කියා මේ දින වකවානු මඟහැර ගත්තොත් නම් වෙන්නේ ලොකු කරදරයක්. නියමිත දිනට පෙර බලපත්‍රය අලුත් කර නොගන්නා සියලුම ගිනි අවි හිමිකරුවන්ට එරෙහිව තුවක්කු ආඥාපනතේ 22 වන වගන්තිය යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බව අමාත්‍යාංශය තරයේ අවධාරණය කරනවා.
ඒ අනුව, වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් සන්තකයේ තබාගැනීම යටතේ දඬුවම් ලැබිය හැකි වරදකරුවෙකු වීමට ඔබට සිදුවනු ඇති.
මේ අතර, පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතන (Private Security Agencies) පවත්වාගෙන යන පාර්ශවයන්ටද 2027- 2028 වර්ෂ සඳහා සිය ලියාපදිංචිය අලුත් කිරීම හෙට (01) සිට ලබන දෙසැම්බර් 31 දක්වා සිදුකර ගත හැකි බව දැනුම් දී තිබෙනවා.
එම කාලයෙන් පසු සිදුකරන අලුත් කිරීම් සඳහා අනිවාර්යයෙන්ම ප්‍රමාද ගාස්තු අය කිරීමට හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඒ නිසා අවසාන මොහොතේ කලබල නොවී නියමිත කාලය තුළ තමන්ගේ බලපත්‍ර සහ ලියාපදිංචි කිරීම් අලුත් කරගන්නා ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.