“රුවන්ඩා නම ඇසූ සැණින් අපට සිහිවන්නේ ඒ ලේ ගංගාවයි. අසරණ වූ අනාථ වූ ජනතාවයි. එහෙත් මගේ පුදුමයට මා රුවන්ඩාවට ගොඩබසින විට එහි ප්‍රධාන නගරවලත් කැලිෆෝනියාවේත් වෙනසක් නැති තරම් තත්ත්වයකුයි මා දුටුවේ. සුඛෝපභෝගී හෝටල්, සැපවත් ජීවිත ගත කරන පොහොසතුන් සිටින ලෝකයකුයි මා දුටුවේ..."
"ඒත් එහි පිටිසරට ගමන් කරන විට රටේ සැබෑ තත්ත්වය එතරම් සුන්දර නොවූ බව පෙනුණා. තම පවුල්වලට එදා වේල සොයාගන්නට කාන්තාවන් කරන ජීවන අරගලය සිතාගන්නත් අපහසුයි. ලෝක ඉතිහාසයේ ම්ලේච්ඡත්වයේ කළු පැල්ලමක් වූ රුවන්ඩා වර්ගවාදී සංහාරය අදටත් ඔවුන් සිහිකරන්නේ මහත් කම්පනයෙන්. එයින් පසු අන්තයටම කඩාවැටුණු රට නැවත ගොඩනඟාගැනීමේ ක්‍රියාවලියට ඔවුන් බොහෝ වෙහෙසී ඇති බව පේනවා..."
මෙසේ පවසන්නේ රුවන්ඩාවේ කෘෂිකාර්මික ආර්ථිකය නඟාසිටුවීමට වෙහෙස නොබලා ක්‍රියා කරන සාරා බුචානන් නම් ක්‍රියාකාරිනියයි. සාරා බුචානන් නැඟෙනහිර අප්‍රිකාවට යන්නේ 2012 වර්ෂයේදීය. එහි රටවල් කිහිපයකම සංචාරය කරන ඇයට මෙම අප්‍රිකානු පවුල්වල කාන්තාවන් තම පවුල් රැකගැනීමට දරන වෙහෙස පිළිබඳව විවිධ කතා පුවත් අසන්නට ලැබේ.
ඔවුන්ගේ සෑම ප්‍රශ්නයකටම මුල දැඩි දරිද්‍රතාව බව පෙනේ. ඇය ආයතන හරහා ඔවුන්ගේ ජන ජීවිතය ඉහළ නැංවීමට උත්සාහ කළද විවිධ බාධක නිසා එය නිසා ලෙස මල්පල නොගැනේ. ඇගේ අවධානය රුවන්ඩාවට යොමුවන්නේ ඒ අතරේදීය.
1994 වන විට රුවන්ඩාවේ ජනවාර්ගික කණ්ඩායම් දෙකක් සිටියහ. පාලන බලයේ සිටි බහුතරය වූ හුටූ ජාතිකයන් 85%ක් වන අතර සුළුතරයක් ටුට්සි, ත්වා හා පිග්මි ජාතිකයන්ද විය. එහෙත් ඉතිහාසය සලකා බලද්දී මේ තත්ත්වය මෙසේ නොතිබුණු බව පෙනේ. 1959 වන විට පාලන බලය තිබුණේ ටුට්සි ජාතිකයන් අතේය.
යුරෝපීය ආක්‍රමණයන්ගෙන් පසු එය කණපිට පෙරළිණි. අධිරාජ්‍යවාදීන්ගේ බෙදා වෙන් කරන ලද පාලනය හා වෙනත් ක්‍රියාමාර්ග රැසක් නිසා ක්‍රමයෙන් වඩා ප්‍රබල කණ්ඩායම හුටූ බවට පත්විය.
1994 දී දින සියයක් ඇතුළත සුළුතර ටුට්සි ජාතිකයන් ලක්ෂ අටක් සමූල ඝාතනය වූ මේ මහා මිනිස් සංහාරය ඇරැඹුණේ 1994 අප්‍රේල් 6 වැනි දින මධ්‍යස්ථ හුටූ ජාතිකයෙක් වූ එවකට රුවන්ඩා ජනාධිපති ජුවෙනාල් හබයිරිමානා ගමන් ගත් ගුවන් යානය බිම හෙලූ අවස්ථාවේ සිටය. එය සිදු කරන ලද්දේ කවුරුන්දැයි නිශ්චිත නැත.
හුටූ ජාතික අන්තවාදීන්ම එය කළා යැයි සිතන පිරිසක්ද, එයට වගකිවයුත්තේ ටුට්සීන්ම යැයි සිතන පිරිසක්ද වෙති. කෙසේ හෝ එහි ප්‍රතිඵලය වූයේ කිගාලි නම් වූ රුවන්ඩා අගනුවරින් ඇරැඹි සංහාරය රට පුරා ළැව් ගින්නක් සේ පැතිරී යෑමය. වෛරී අදහස් ප්‍රචලිත කොට හුටූ ජනතාව අවුස්සා තමාගේම අසල්වැසියන් ඝාතනයට පෙලඹවීමට ගුවන් විදුලිය උපයෝගි කරගත් බව පැවසේ.
“ටුට්සි කැරපොත්තන් දුටු තැන විනාශ කර දමන්න” ඔවුන්ට ගුවන් විදුලියෙන් ලැබුණු පණිවුඩයයි. පළමුවෙන්ම මධ්‍යස්ථ මතධාරී හුටූ අගමැතිනිය හා ආරක්ෂක නිලධාරීන් ඝාතනය වූ නිසා එතැන ඇති වූ දේශපාලන හිඩැසට හුටූ අන්තකාමීන් පත්විය.
මෙහිදී ඝාතනය වූයේ ටුට්සි ජාතිකයන් පමණක් නොවේ. නිදහස් මාධ්‍යස්ථ මතධාරී හුටූ උගතුන්ද, ටුට්සි ජාතිකයන් මැරීමට අකැමැති වූ හුටූ ජාතිකයන්ද අමු අමුවේ ඝාතනයට ලක්විය.
ඔවුන් ජන සංහාරයට භාවිත කර තිබුණේ ම්ලේච්ඡ ප්‍රාථමික ආයුධ වන කඩු, කිණිසි, පොරෝ ආදියයි. වඩාත්ම අසරණ භාවයටත් බිහිසුණු ඉරණම්වලටත් ගොදුරු වූයේ කාන්තාවන් සහ ළමයින්ය. කාන්තාවන් සිය දහස් ගණනින් දූෂණයට ලක්වුණු අතර ලිංගික වහල් සේවය සඳහා පමණක් ඔවුන්ට ජීවිත දානය ලැබිණි.
තවත් විශාල පිරිසක් ශෝකයෙන් මියයෑමට ඉඩ හරින ලදී. දින සියයක් පුරා පැවතුණු මෙම වාර්ගික සංහාරය අවසන් වූයේ ටුට්සි දේශප්‍රේමී හමුදාව විසින් හුටූ ජාතිකයන් යටත් කර බලය අල්ලා ගත් පසුවය. හුටූ ජාතික මධ්‍යස්ථ ජනාධිපතිවරයකුද, ටුට්සි ජාතික උප ජනාධිපතිවරයකුද පත්කර ගන්නා ලදී. මෙම සටන නිසා මිලියන දෙකකට වැඩි ජනතාවක් සරණාගතයන් සේ අවට රටවලට සරණ සොයා ගිය බව කියැවේ.
එක්සත් ජාතීන් මෙවන් අවස්ථාවක අන්තර්ජාතික වශයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පසුව බොහෝ විවේචනයට ලක්විය. විවිධ තීන්දු තීරණවලින් පසු එක්සත් ජාතීන් විසින් පන්දහසක පමණ සාම හමුදාවක් එවන විට බොහෝ දේ සිදු වී තිබිණි.
“රුවන්ඩා කාන්තාවන් ආර්ථිකය ඉහළ නැංවීමකින් තොරව ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් නැති බව මට පෙනී ගියා. ඒ සඳහා අවශ්‍ය කෘෂිකාර්මික පසුබිම ඔවුන්ට තිබුණා. ධෛර්යය, ශක්තිය, උනන්දුව ඔවුන්ට තිබුණා. අවශ්‍ය වූයේ තම ව්‍යාපාර ආරම්භ කිරීමටත්, පවත්වාගෙන යෑමට උපදෙස් හා යම් ප්‍රාග්ධනයක්. මම Kula සංවිධානය ආරම්භ කළේ ඒ සඳහායි. එය ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයක්. දැනටත් වරින් වර අසල්වැසි රාජ්‍යයන්ගේ ආක්‍රමණවලින් බැටකන රුවන්ඩා වැසියන් ජීවත් වන්නේ අවිනිශ්චිත මානසිකත්වයක. කෝපි වගාවත්, පරම්පරාගත විවිධ අත්කම් ශිල්පීය දැනුමත්, සුළු කර්මාන්තත් දියුණු කර ගනිමින් ව්‍යවසායකයන් බවට පත් වීමට දිරි ගැන්වීම අපෙන් කෙරෙනවා.“ ඇමෙරිකාවේ ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරිනියක වන සාරා පවසන්නීය. අප්‍රිකාව පිළිබඳ ඇය සිත යොමු වන්නේ කුඩා අප්‍රිකානු දැරියන් සමූහයකගේ සමූහ ගීත ගායනයක් දැකීමෙනි.
Kula ව්‍යාපෘතියේදී රුවන්ඩා ගැමි කාන්තාවන් කාර්මික පුහුණුව, ආයෝජනය, නායකත්වය, අභියෝග ජය ගැනීම සුළු ව්‍යාපාර ආරම්භ කොට වැඩිදියුණු කිරීම ආදී කරුණු මාස පහළොවක් තිස්සේ ඉගෙන ගන්නේ ඔවුන්ගේ පසුබිමේම ප්‍රායෝගික කටයුතුවල නිරත වෙමින් වීම විශේෂත්වයකි.
දරුණුම ඛේදවාදකයකින් බැට කෑ රුවන්ඩා ජනතාව එකිනෙකා හා ඇනකොටා ගැනීම වෙනුවට සාමය, සහෝදරත්වයේ වටිනාකම හඳුනා ගනිමින් පුද්ගල ආර්ථික දියුණුව හරහා හිස එසවීමට උදවු කිරීමේ සාරා බුචානන්ගේ වැඩසටහන මල්පල දරමින් තිබේ.