ෂෙහානි කහඳවල කියන්නේ පුංචි තිරයට නැතුවම බැරි නිලියක්. නිරන්තරයෙන්ම දකින්න ලැබෙන ෂෙහානි මේ දවසවල හිරු රුපවාහිනියෙනුත් දකින්න ලැබෙනවා. ඒ හිරු මෙගාස්ටාර් වේදිකාවෙන්. නර්තනයේ හැකියාව ඒ ඔස්සේ ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබෙනවා. මේ ඇය ගැනයි.
ෂෙහානි ඉතිං කොහොමද ?
හොඳයි. ගොඩක් හොදින් ඉන්නවා.
මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි වගේ ?
මේ දවස්වල මෙගා ස්ටාර් සෙමි ෆයිනල් එකට සූදානම් වෙනවා. ඒකත් එක්ක තමයි ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.
ඒකෙ ඔබ දක්වන දක්ෂතා ගැන මොකද ප්‍රේක්ෂකයන් කියන්නේ ?
ඒ ගැන තියෙන්නේ වෙනමම ආකාරයේ ප්‍රතිචාර. මොකද ලංකාවෙ පළමුවැනි වතාවට තමයි රියැලිටි වැඩසටහනක් සජීවීව ප්‍රේක්ෂකයන්ගේ මනාපෙන් පැවැත්වෙන්නේ. වෙනදාට අපි මුහුණ දෙන්නේ කැමරාවටනේ. නමුත් මෙහිදි සජීවීව ප්‍රේක්ෂකයන් ඉදිරියේ තමයි අපි දක්ෂතා පෙන්වන්න ඕනෑ. සතියෙන් සතිය ඒක අපිට ලැබෙන වෙනස්ම ආකාරයේ අත්දැකීමක් සහ වෙනසක්. මං ඒක හරිම ආසාවෙන් කරන්නේ. අපේ දක්ෂතා වඩාත් වැඩිකරගන්න ඒක හොඳ අවස්ථාවක්. බොහෝ ප්‍රේක්ෂකයන් දක්ෂතා ගැන සතුටින් ප්‍රතිචාර දක්වනවා.
ඔබ රංගනයෙන් දායකවන නාට්‍යයක් විකාශනය වෙන්නේ බොහෝ කාලයකට පස්සේ. මොකද වුණේ ?
ඒක මෙහෙමයි. මම ලොකුවට වැඩකරන කෙනෙක් නෙවෙයි. හෙමිහිට මගේ වැඩ කරගෙන යන කෙනෙක්. මම වැඩකරන කාලසීමාවක් තියෙනවා. එක දිගටම වැඩකරලා මටත් විවේකයක් අවශ්‍යයි කියලා හිතුණා. කොහොමටත් අවිවේකීව වැඩකරන්න මම කැමැති නැහැ. එහෙම කාලයක් නිදහසේ ඉඳල දැන් වැඩ පටන් අරගෙන තියෙන්නේ.
ඔබ අසනීපෙන් කියලා ආරංචියක් ආවා ?
ඔව් මටත් හිතාගන්න බැරි විදියට මම හදිස්්සියේම අසනීප වුණා. ගොඩාක් අමාරු වුණා. දැන් සනීපයි.
ඔබ රංගනයෙන් දායකවන චරිත එකම රාමුවක කියල හිතෙන්නේ නැද්ද ?
ඔව් ඒක හරි. ඒක ඉතිං මට කරන්න දෙයක් නැහැ. මට අධ්‍යක්ෂවරුන් කතාකරන චරිත වලට තමයි මම මගේ දායකත්වය ලබාදෙන්නේ. ආස චරිත තියෙනවා. නමුත් ඒවා ලැබෙන්නේ නැහැ.
ඔබ දැන් වෘත්තීමය රංගන ශිල්පිණියක් ද ?
මම නිදහසේ රංගන කටයුතු කරගෙන යනවා. නමුත් මම රංගනය මගේ වෘත්තිය කරගෙන නැහැ. රංගනය වෘත්තීය කරගෙන ඉන්න අමාරුයි. මට පුළුවන් කාලයක් මම රංගනය කරනවා.
ඔබ කොයි වගේ කෙනෙක්ද කියලා ඔබම යම් සඳහනක් කළොත් ?
මම ගැන කිව්වොත් තැනට සුදුසු විදියට මගේ පාඩුවේ වැඩකරන කෙනෙක්. ඒකෙන් කියන්නේ කපටියි කියන එක නෙවෙයි. හැමෝමත් එක්ක සුහදව ඉන්න කෙනෙක්.
කුඩා කාලයේ ඉඳන්ම අදහසක් තිබුණද රංගනයට එන්න ?
නැහැ එහෙම නැහැ. ඒ අවස්ථාව මට ලැබෙන්නේ අහම්බයෙන්.
සම්මානයක් ගන්න අදහසක් නැද්ද ?
ආසයි ඉතිං එහෙම ඇගයීමක් ලැබෙනවානම්. ඕන කෙනෙක් කැමැතියිනේ ඒකට. බලමු ඒ දේට මගේ සියලූ සුදුසුකම් සපිරුවාට පස්සේ ඒ දේ මට ලැබෙයි. ඒක ඉතිං දෛවය තමයි. බලමු නේද.
ප්‍රසංග මාභරණ