කිලිනොච්චි පොලිසියට ඉකුත් මස 29 වන දා උදෑසන 11 ට පමණ දුරකථන ඇමතුමක් ලැබෙන්නේ කිලිනොච්චි පරන්තන් පාරේ පන්නන් කණ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක ඇති ඇනිකට්ටුව යට කාන්තාවක් මරා දමා ඇති බවයි.
එය හමුවී ඇත්තේ කිලිනොච්චිය පොලිසියේ සිට පරන්තන් හන්දිය දක්වා කිලෝමීටර 10 ක් පමණ දුරින් මුලතිව් පාරේ තවත් කිලෝමීටර් එක හමාරක් පමණ ගිය තැන දකුණු පැත්තේ ඇති විශාල කුඹුරු යායේ ඇනිකට්ටුවේ කාන්තාවගේ මළසිරුර මුනින් අතට වැටී තිබියදීය.
ඒ අනුව පොලිසිය එම ස්ථානයට ගොස් කළ සොයා බැලීම්වලදී ඉණ බැඳි පටියක්, රතු හා නිල් පැහැති පෑන් දෙකක්, සෙරෙප්පු ජෝඩු දෙකක්, කාන්තා පා සලඹක් හා වැක්ස් බෝතලයක් ද සොයා ගැනීමට හැකිව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ පසු සිරුර කිලිනොච්චි මහ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගිය අතර එහි ඡායාරූප ද ලබා ගැනීමට කටයුතු කරන ලදි.
කාන්තාව මියගොස් සිටි ස්ථානයේ තිබී සොයාගත් එක්තරා ඇඟලුම් කම්හලක ආරක්ෂක නිලධාරින් පළඳින බඳපටිවලට සමාන බඳපටියක් හේතුවෙන් අදාළ ඇඟලුම් කම්හලට ගොස් මාධ්‍යවේදියෙකු විසින් කළ සොයා බැලීමක දී අනාවරණය වුණේ මියගොස් ඇති කාන්තාවගේ රුවට සමාන තැනැත්තියක් එම ඇඟලුම් කම්හලේ ද සේවය කරන නමුත් එදින ඇය සේවයට නොපැමිණ ඇති බවයි.
ඒ අනුව ඇය පදිංචිව සිටින ප්‍රදේශය වූ තිරුමුරුකන්ඩි ප්‍රදේශයට ගොස් කළ සොයා බැලීමේදී මියගොස් සිටි කාන්තාවගේ පියා සමඟ කතා කිරීමට අවස්ථාව ලැබී ඇති අතර එහිදී ද අනාවරණය වූයේ දියණිය රැකියාවට ගොස් පැමිණ නැති බවය. ඒ අනුව රෝහලට ගොස් මෘත ශරීරය බැලීමේදී මියගොස් ඇත්තේ තම දියණිය බව හඳුනාගැනීමට ඔහුට හැකිවිය.
ඒ අනුව කරුපයියා නිත්‍යකලා නැමති එම කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණු අතර එහිදී හෙළිදරව් වුණේ ගෙල සිර කිරීමෙන් ඇගේ මරණය සිදුවී ඇති බවයි.
ඇගේ දුරකථන අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී ඇය සේවය කළ ඇඟලුම් කම්හලේම ආරක්ෂක අංශයේ OIC වරයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙකු සමඟ 28 වන දා රාත්‍රියේ ඇය කිහිපවතාවක් දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බව සොයාගැනීමට හැකිවිය.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට සත්‍යය තවදුරටත් සැඟවිය නොහැකි විය.
“මම අවුරුදු එක හමාරක් විතර සිකියුරිටි එකේ වැඩ කරනවා. නිත්‍යකලා මට හම්බුණේ එහෙදි.“
කෙසේ වෙතත් නිත්‍යකලා හමුවන විටත් කිදන් නැමති එම පුද්ගලයා විවාහ වී සිටියේය. පසුව ඔහු ඇයව අතහැර හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් සමඟ සිදුකර ගත් විවාහයෙන් දරුවන් දෙදෙනෙකු ද සිටින බව අනාවරණය විය.
28 වන දින සවස කිදන් හා නිත්‍යකලා හමුවූ දින ඔවුන් අතර යම් කතා බහක් ඇති වී එහි ප්‍රතිඵලයක් ලෙස නිත්‍යකලා මරණයට පත්වී තිබුණි.
“අපි මෙතන පොඩ්ඩක් නතරවෙලා කතා කරමු. කියන්න දෙයක් තියෙනවා“
“ඇයි මොකක්ද කියන්න තියෙන කාරණය“
“මට ඔයා හින්දා දරුවෙක්“
“මොකක්ද කිව්වේ“
“මට බබෙක් හම්බ වෙන්න ඉන්නවා“
“මොනවා“
“ඔව් දැන් මාස පහක් වෙනවා“
“ඇයි මට මෙච්චර කල් කිව්වේ නැත්තේ“
“දැන් මොකක්ද කරන්නේ, මාසයකට කලින්නේ කියන්න තිබුණේ. දැන් මුකුත් කරන්න බැහැනේ.“
“එහෙනම් ඔය ගෑනිව අතහැරලා මාව බඳින්න“
ඉන් පසු දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමෙන් පසු හඬාවැටුණු නිත්‍යකලා අත්බෑගයේ දමාගෙන සිටි වස බෝතලයක් කටේ හලා ගැනීමට ද උත්සාහ කර ඇති අතර එය වැළකී ඇත්තේ කිදන් විසින් එල්ල කළ පහරකිනි. ඇයව පාලනය කර ගන්නට නොහැකි වූ තැන ඇය පැළඳ සිටි හැඳුනුම්පතේ පටියෙන් ඇගේ ගෙල සිරකිරීමේ දී ඇය මරණයට පත්ව තිබුණි.
ඉන්පසු ඇගේ මළ සිරුර ඇනිකට්ටුව යට ගෙන ගොස් දමා තිබුණේ ඇය ඇඳ සිටි නිල ඇඳුමේ උඩ කොටස ගැලවීමෙන් පසුවය.
කෙසේ වෙතත් සැකකරු පොලිසිය හමුවේ පවසා තිබුණේ ඇයව මරණයට පත්කිරීමේ චේතනාවෙන් තමා එවැන්නක් නොකළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
කීර්ති මෙන්ඩිස්