ව්‍යාජ මැණික් ගල් පෙන්වා කාන්තාවන් රටවා එම කාන්තාවන් පැලඳ සිටින ස්‌වර්ණාභරණ ලබාගත් යුද හමුදා සෙබළකු ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් තිදෙනකු කළුතර කොට්‌ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වටිනා රන් ආභරණ පැළඳ සිටින කාන්තාවන් වෙත ගොස් එම කාන්තාවන් හට ව්‍යාජ මැණික් ගල් පෙන්වා මුදල් හදිසියකට යෑයි පවසා ඔවුන් සතු ස්‌වර්ණාභරණ ලබාගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී හෙලි වී ඇත්තේ.
මෙම කල්ලියට බදුල්ල ප්‍රදේශයේ තිදෙනෙකුද සම්බන්ධ අතර කල්ලි මෙහෙයවා ඇත්තේ යුද හමුදා බළකායේ හිටපු සෙබළකු විසින් බවයි පොලිසිය සඳහන් කලේ.
මෙම අපරාධ කල්ලියට හසු වූ මතුගම කාන්තාවක් මතුගම පොලිසියට පැමිණ මෙලෙස ප්‍රකාශයක්ද කර තිබෙනවා.
පසුගිය ජුනි මාසයේ 19 වැනිදා මම මතුගම ලංගම බස් නැවතුම්පළේ සිටින විට යුවළක් පැමිණ ඔවුන්ට කරදරයක් වී ඇති බවත් වෙද මහතකු සිටිනා තැනක් කියන ලෙසත් මට පැවසුවා. මම මතුගම නගරයේ වෙද මහත්වරු සිටින තැන් පැවසූ පසුව ඔවුන් දෙදෙනා ඉතාම සුහදශීලීව මාව මතුගම නගරයේ පිහිටි දේවස්‌ථානයක් වෙත කැඳවාගෙන ගියා. එහිදී ඔවුන්ට කරදරයක් වී ඇති නිසා ඉක්‌මනින් මුදල් අවශ්‍ය වී ඇති නිසා ඔවුන් සතුව තිබූ මැණික් ගල් වගයක් මටදී මම පැලඳ සිටි පවුම් 1.1/2 ක මාලයක්, පවුම් 1.1/4 ක පෙන්ඩන් එකක්, පවුම් 1/2 ක මුද්දකුයි ඔවුන් ඉල්ලා ගත්තා. පසුව ඔවුන් ඒවා විකුණා එන තෙක් එම ස්‌ථානයේම සිටින ලෙස මට දැනුම් දුන්නා. මම බොහෝ වෙලාවක් බලා සිටියත් ඔවුන් පැමිණියේ නැහැ. ඔවුන් මට දීලා තිබෙන්නේ බොරු මැණික් ගල් බව පසුව දැනගත්තා.
මෙම කණ්‌ඩායම පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව දැනගත්තා. මම ඔවුන්ව හඳුනා ගත්තා. පොලිස් නිලධාරීන් මෙය සාර්ථකව ඉටු කිරීම පිළිබඳව ස්‌තුති කරනවා යෑයිද පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයකුගේ යට ඇඳුමේ සඟවාගෙන සිටි අත් බෝම්බයක් සහ ඔවුන් සතුව තිබී රන්මාල කීපයක්‌ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කල්ලිය මතුගම නගරයේ තවත් කාන්තාවක් රවටා මෙම ජාවාරම සිදු කරන අවස්ථාවදීයි දී මෙම සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලිසි වැඩි දුර පරීක්‍ෂණ පවත්වයි.