දැරිය පස්‌මස් ගැබිනියක කළ මස්‌සිනා තවදුරටත් රිමාන්ඩ් - ඉතිරි දැරියන් තිදෙනා සමග පැන ගිය සුළු පියා සොයා පොලිස් පරීක්‍ෂණ බෙන්තොට, මිරිස්‌වත්ත ප්‍රදේශයේ බාලවයස්‌කාර දැරියක දූෂණය කර ඇය පස්‌මස් ගැබිනියක් කළ බව කියන දැරියගේ මස්‌සිනා වන අය සැප්තැම්බර් මස 12 වැනි දින දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇල්පිටිය මහෙස්‌ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියෝග කර තිබෙනවා.
මෙම දැරිය දූෂණය කළ බව කියන ඇයගේ සුළු පියා (මවගේ දෙවැනි සැමියා) ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්‌ත්‍රාත්වරයා මෙහිදී ඌරගස්‌මන්හන්දිය පොලිසියට දැනුම් දී තිබෙනවා.
මෙසේ රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ගල්තුඩුව, ගෝනගලපුර ලිපිනයේ පදිංචි 24 හැවිරිදි අයෙක්.
අතවරයට පත් දැරිය පරිවාස භාරයට පත් කොට ගාල්ල, කිතුලම්පිටිය ළමා නිවාසයේ රදවන ලෙස ද මහෙස්‌ත්‍රාත්වරයා මීට පෙර නියෝග කර තිබෙන අතර මෙම දැරිය හා නැගණියන් තිදෙනා සිය අංශ භාග රෝගී පියා සමඟ සහ නැගණියන් තිදෙනාගේ පියා වන මවගේ අනියම් සැමියා සමඟ නිවසේ අනාරක්‌ෂිතව දිවිගෙවා තිබෙන බවද සදහන්. පොලිසිය පසුගියදා දැරියගේ නිවසට යන විට මෙම දැරියගේ මවගේ අනියම් සැමියා ද වන බාල නැගණියන් තිදෙනාගේ පියා දැරියන් තිදෙනා ද රැගෙන පලාගොස් ඇති බවත් ඌරගස්‌මංහන්දිය පොලිසිය පවසන අතර දැරියන් තිදෙනාගේ පියා ද වන මවගේ අනියම් සැමියා සොයා තවදුරටත් පොලිස් පරීක්‌ෂණ පවත්වන බවත් මෙම අනියම් සැමියා ද සිය අනියම් බිරියගේ පළමු විවාහයේ මෙම දැරිය දූෂණය කර තිබෙන බවත් පොලිස් පරීක්‌ෂණ වලදී තහවුරු වූයේ යෑයි ඌරගස්‌මන්හන්දිය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.
කුඩා ගැහැනු දරුවකු ගසකින් වැටී බළපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයගේ සාත්තුවට ළඟ සිට ඇත්තේ ද ඇයගේ සොහොයුරියක් වූ පාසල් ශිෂ්‍යාවක් බැවින් රෝහල් කාර්ය මණ්‌ඩලයේ ප්‍රශ්න කිරීම් වලදී මෙම දරුවන් අනාරක්‌ෂිතව සිටින බව දැන ඌරගස්‌මංහන්දිය පොලිසියට දැනුම් දී තිබෙනවා. එහිදී මෙම කරුණු අනාවරණය වී ඇති අතර දැරියන්ගේ මවට ප්‍රථම කසාදයෙන් ගැහැනු දරුවන් දෙදෙනකු සිටින අතර හදිසියේ පියා අංශභාග රෝගයෙන් ඔත්පල වී තිබෙන බවටත් සදහන්.
පසුව දැරියන්ගේ මව එම ප්‍රදේශයේම වෙනත් පුරුෂයකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඔහු ද එම නිවසේම දිවිගෙවා ඇති බවත් පොලිස් පරීක්‌ෂණවලදී තහවුරු වී තිබෙනවා. පසුව දැරියන්ගේ මවට දෙවැනි සැමියාගෙන් ද තවත් දූවරුන් තුන්දෙනෙක් ලැබී තිබෙන බවත් මොහු අතුරුදන්ව ඇත්තේ මෙම දැරියන් තිදෙනා ද සමඟ බවත් පොලිසිය සදහන් කරයි.
පස් (05) දරු මවක් වූ ඇය සිය දෙවැනි සැමියාගෙන් ද වෙන්ව වෙනත් පුරුෂයකු සමඟ සබඳතාවක් ඇතිකර ගැනීමත් සමඟ අංශභාග රෝගයෙන් පෙළෙන මවගේ පළමු විවාහයේ දැරියන් දෙදෙනා වඩාත් අනාරක්‌ෂිත තත්ත්වයට පත්ව තිබෙන බවයි සදහන් වන්නේ. මව දෙවැනි අනියම් සැමියා (තුන්වැනි සැමියා) සමඟ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති අතර ඇය එසේ යනවිට වයස අවුරුදු එකොළහක් වූ දෙවැනි කසාදයේ වැඩිමහල් දියණිය ද රැගෙන ගොස් තිබෙනවා. නමුත් දෙවැනි සැමියා රෝගීව සිටින පළමු සැමියා හා ඉතිරි ගැහැනු දරුවන් සිවුදෙනා බෙන්තොට, මිරිස්‌වත්ත නිවසේ දිවිගෙවා තිබෙන බව පොලිසිය කියයි. කුරුණෑගල නිවෙසේදී මවගේ තෙවැනි සැමියා, දෙවැනි කසාදයේ එකොළොස් වියෑති දියණිය දූෂණය කිරීමේ සිද්ධියක් මත තෙවැනි සැමියා හා දරුවන්ගේ මව රක්‌ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ඊට මාස කිහිපයකට පසු දෙවැනි සැමියා පරිවාස භාරයේ සිටි සිය දියණිය තමන් භාරයට ගෙන මිරිස්‌වත්ත නිවෙසට රැගෙනවිත් තිබෙන බව ද පොලිස් පරීක්‌ෂණ වලදී තහවුරු වී තිබෙනවා.
මෙසේ දූෂණයට ලක්‌ව ඇත්තේ පළමු කසාදයේ දෙවැනි දියණියයි. ඇය මෙවර අපොස (සා. පෙළ.) විභාගයට ද පෙනී සිටීමට නියමිතව තිබෙන අතර හදිසියේම නිවෙසට පැමිණි අම්මාගේ අයියාගේ පුතා (මස්‌සිනා) විසින් ඇය දූෂණයට ලක්‌කර ඇති බවත් ඒ බව බාප්පාට (දෙවැනි සැමියා) පැවසුව ද ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්‌වා නිහඬව සිට ඇති බවත් පොලිසිය සදහන් කරන අතර ඉන්පසු අවස්‌ථා කිහිපයකදීම සිය මස්‌සිනා විසින් ඇය නැවත නැවතත් දූෂණයට ලක්‌කර ඇති බව ද පොලිසිය කියයි. පළමු කසාදයේ දෙවැනි දියණිය මස්‌සිනා අතින් දූෂණය වීම පිළිබඳව කිසිත් නොකී දෙවැනි සැමියා ද ඊට ටික දිනකට පසු ඔහුගේ අවශ්‍යතාවන් සඳහා ද මෙම දැරිය යොදාගෙන තිබෙන බවත් ඇය මේ වනවිට පස් (05) මස් ගැබිනියක් බවත් දැරිය සම්බන්ධයෙන් වූ වෛද්‍ය වාර්තාවේ සඳහන් .