නිරූපණයෙන් රංගනයට එකතු වුණු ඔහු නමින් අමිල කරුණානායකයි. මෙවර කතාබහට ඔහුව එකතු කරගත්තේ ඔහුට හැමදාම වන පටලැවිල්ලක් නිසයි. බොහෝ දෙනාට ඔහුව ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක් එක්ක පටලැවෙන නිසයි. ඒ ගැන ඔහු මෙලෙස කතා කළා.
* මොකක්ද මේ හැමදාම වෙනවා කියන පටලැවිල්ල?
ක්ෂේත්‍රයට ආපු මුල් දවස්වල ඉඳන්ම ඔය පටලැවිල්ල තියෙනවා. රොෂානුත් ඔය ගැන කතා කරනවා. මොකද මම රංගනයෙන් දායක වුණු මියුසික් වීඩියෝ ගැන කියලා ප්‍රතිචාර දක්වනවලු. රොෂාන්ට මුහුණුවර එක වගේ නැති වුණත් බාහිර ස්වරූපය එක වගේ නිසා ගොඩක් දෙනාට පටලැවෙනවා ඇති. ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ රොෂාන්ගේ මල්ලි මම කියලා. නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න කාලේ ඉඳන්ම ඔය පටලැවිල්ල තිබුණා.
* සම්මාන උළෙලට කලින් ඉඳන්ද මේ පටලැවිල්ල වුණේ?
ඔව්. මම මෝස්තර නිර්මාණ ශිල්පියෙක් විදිහට වැඩ කරද්දි අහනවා ඇයි ඔයා, ඔයාගේ බ්‍රෑන්ඩ් එක කරද්දි අනෙක් අයගේ ෂූට්වල ඉන්නේ කියලා.
* සම්මාන උළෙලේදී මොකක්ද වුණේ?
ඒ කට්ටිය කොළඹ නෙවෙයි. මුලින්ම මාත් එක්ක කතා කරද්දි හිතුවේ මම ගැන කියලා. ඒ අය මාත් එක්ක ෆොටෝ ගත්තා. හරිම ආසාවෙන් තමයි ෆොටෝ ගන්න ආවේ. මම හිතුවේ කමක් නෑ මගේ රසිකයෝනේ කියලා. කළුවරේ පරණ ෆෝන් එකෙන් ෆොටෝ ගත්ත නිසා පැහැදිලිව තිබුණේ නැහැ. අපි ලයිට් තියෙන තැනකට ගිහින් ෆොටෝ ගන්න ගියා. විනාඩි දහයක් පහළොවක් ගියා ෆොටෝ ගන්න. එතැන හිටපු එක ගැහැනු ළමයෙක් කිව්වා මගේ ළඟ තියෙනවා ඔයත් එක්ක වැඩසටහනකදී ගත්ත ෆොටෝ එකක්. එතකොටම මට තේරුණා මේ අය කියන්නේ රොෂාන් රණවන ගැන කියලා. ඒ ළමයගේ අම්ම කීවා පුතාගේ ෆොටෝ එකක් අපේ ගෙදර තියෙනවා කියලා. එච්චර මහන්සි වෙලා ෆොටෝ අරගත්තට පස්සේ කියන්න බැනේ මම රොෂාන් නෙවෙයි කියලා.
ඉතින් මම ඔව් කියලා එතැනින් ගියා. මට රොෂාන් වගේ වෙන්න වුවමනාවකට නෙවෙයි මම ඔව් කීවේ. ඒ මිනිස්සු දුකට පත් කරන්න ඕන නැති නිසයි.
* රොෂාන් සම්මාන උළෙලට සහභාගි වුණේ නැද්ද?
නැහැ. රොෂාන් ඇවිල්ලා හිටියේ නැහැ.
* රොෂාන් හිටපු නැති නිසා තව අයට අමිලව පටලැවුණේ නැද්ද?
එහෙම සිද්ධි කිහිපයක්ම වුණා. එතැන වයින් එහෙම පාවිච්චි කරලා ටිකක් මත්වුණු අයත් ඇවිත් රොෂාන් අයියා වෙනස් වෙලානේ කියලා ෆොටෝ ගත්තා. රේණුකා මැඩම් එකපාරටම මා ගාවට ඇවිත් මාව හග් කළා. මම එයත් එක්ක කවදාවත් වැඩ කරලා තිබුණේ නැති නිසා එයාට මාව හඳුනන්න විදිහක් නැහැ. ඒ නිසා මම කීවා ‘මැඩම් සොරි, මාව පටලැවිලා ඇති. මම රොෂාන් නෙවෙයි’ කියලා. රේණුකා මැඩම් ආපහු ඇහැව්වා ‘ඔයා රොෂාන් නෙවෙයිද, නැත්නම් රොෂාන්ගේ මල්ලිද’ කියලා. ඒ වගේම රොෂාන් නිතරම යන්නේ බිරිඳත් එක්ක. මම මගේ බිරිඳ එක්කන් යන්නෙ නැහැනේ. ඉතින් එතැන හිටපු ලේඩි කෙනෙක් ඇවිත් කෝ වයිෆ්, කෝ වයිෆ් කියලා අහන්න ගත්තා. මම කිව්වා වයිෆ් ගෙදර කියලා.
* අමිල, රොෂාන් වගේ කියලා හැමෝම කියනවාද?
දන්න අය නම් එහෙම කියන්නේ නැහැ. උස, මහත අපි දෙන්නගෙම සමාන නිසා හැමෝම කීවා රොෂානුයි, මමයි ටිකක් සමානයි කියලා. ගොඩක් තැන්වලට ගියාම අහනවා රොෂාන්ගෙන් මම මල්ලිද කියලා. අපි මුණගැහුණාම ඔය ගැන කතා වෙවි හිනාවෙනවා.
* අමිල කැමැතිද මේ පටලැවිල්ල නිසා රොෂාන් වගේ කියනවට?
ඇත්තටම එහෙම කැමැත්තක් නැහැ. රොෂාන් කියන්නේ ක්ෂේත්‍රයේ ස්ථාවරයක් හදාගත්ත කෙනෙක්. මට එහෙම ආසාවක් නැහැ. රොෂාන්ලා එක්කෙනෙක් හිටියොත් ඇති. ඔය පටලැවිල්ල නිසා අපි දෙන්නටම හානියක් වෙනවා කියලා මට හිතෙනවා. මම තවම ක්ෂේත්‍රයේ තැනක් හදාගන්න උත්සාහ කරන කෙනෙක්. ඔය දේවල් මම සීරියස් හිතන්නෙ නැහැ. මට එහෙම වුවමනාවක් නැහැ.
* රොෂාන් මොන වගේ යාළුවෙක්ද?
රොෂාන්ව මට මුණගැහෙන්නේ මම මෝස්තර නිර්මාණ ශිල්පය ගැන හදාරද්දි. මම පළමුවෙන්ම රොෂාන්ව දැක්කහම මට හිතුණා කවදා හරි මෙයා හොඳ තැනකට යයි කියලා. මොකද එතකොට එයා රංගන ක්ෂේත්‍රයට ඇවිත් හිටියේ නැහැ. එයා තමන්ගේ වැඩට මහන්සි වෙන විදිහ, කැපවෙන විදිහ දැක්කාම මට හිතුණා මෙයා ලොකු දුරක් යාවි කියලා.
* මේ ගැන රොෂාන් දන්නවද?
ඔව්. මම මේ ගැන පොඩි සටහනක් ෆේස්බුක් එකේ දාපු නිසා රොෂාන් දැන් මේ ගැන දන්නවා ඇති.