මේ දවස්වල හිරු රූපවාහිනියත් එක්ක එකතු වෙලා විශ්ව කොඩිකාර "අහස් මාළිගා" හදනවා. ඒ වගේම බොහෝ නිර්මාණවලින් ඔහුව නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. මේ ඔහු ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.
විශ්ව රහසේම අහස් මාළිගා හදනව කියල ආරංචියි?
ඔව්... තනියම නම් නෙමෙයි. මම හිරුත් එක්‌ක එකතුවෙලා කරන පළවෙනි නිර්මාණය. බොහොම සතුටින් සැහැල්ලුවෙන් වැඩ ටික කරගෙන යනවා.
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
මම කරන චරිතවලට වඩා ගොඩක් වෙනස් චරිතයක් තමයි මේ නාට්‍යයේදී කරන්නේ. මගතොට මුණගැහෙන අයගෙන් පවා ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම හැමෝම ගොඩක් ආශාවෙන් බලන නාට්‍යයක් බවට පත්වෙලා.
අහස් මාළිගා දර්ශන තලයේදී විශ්ව උදාරිට සර්ප්‍රයිස් පාර්ටි එකක් දුන්න කියන්නේ?
ඒක ඇත්තටම මම දුන්න පාර්ටි එකක් නෙමෙයි. අපේ අධ්‍යක්‍ෂ නිමන්ත මහත්මයා තමයි උදාරිගේ ඇස් බැඳල පුදුමවෙන දෙයක් කරමුයි කියල යෝජනා කළේ.
උදාරිගේ සර්ප්‍රයිස් බර්ත්ඩේ පාර්ටි එක ලෑස්‌ති කළේ විශ්ව නෙමෙයි?
නෑ... නෑ... නිමන්ත මහත්මයගෙ යෝජනාවට අපි හැමෝම කතාවෙලා සැලසුම් කරල තමයි ඒක කළේ.
විශ්ව කියන්නෙ ලැබෙන චරිතයකට උපරිම කැපවෙන කෙනෙක්‌ද?
මෙහෙමයි මම නිතරම උත්සාහ කරන්නේ ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න. ඒ එක්‌කම තිරපිටපතට වගේම අධ්‍යක්‍ෂවරයා බලාපොරොත්තු වෙන දේටත් අපෙන් සාධාරණයක් ඉටුවිය යුතු බව මම නිතරම හිතන දෙයක්.
ලැබෙන ඕනෑම චරිතයකට අනුගත වෙන්න පුළුවන්ද?
ඇත්තටම චරිතයක් කරන්න කලින් අපිට ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන්නම්, ඒක අපි දන්න චරිතයක් නම් ඒ චරිතයට අනුගතවෙන්න තරමක් හෝ පහසු වේවි. නමුත් උදාහරණයක් විදියට ගොවි මහත්මයකුගේ චරිතයක් ලැබුණොත්. එතනදී ගොවි මහත්වරු දහ දෙනෙක් ගත්තොත් ඒ දහ දෙනාම එකිනෙකාට වෙනස්. එතනදී අපි නියම චරිතයට අනුගත වෙන්න ඕන වගේම නොදන්නා තැනක් තියෙනව නම් අධ්‍යක්‍ෂවරයාගෙන් උපදෙස් ලබාගෙන ඒ ගැන දැනුවත් වෙන්න ඕන කියලයි මගේ නම් අදහස.
නිර්මාණ කිහිපයකින් එකම කාලේ දකින්න ලැබෙන විට අගය අඩුවෙනව කියල කියනවනේ?
එහෙම දෙයක් මමත් අහලනම් තියෙනවා. නමුත් මමනම් එහෙම කරලා නැහැ. විකාශනය වෙන නිර්මාණවලට බලපෑමක් වෙන නිසා මම එකවර වැඩ දෙක තුනක් භාරගන්න කැමති නැහැ.
රංගනයට බිරිඳගෙන් ලැබෙන සහයෝගය?
අවංකවම මට බිරිඳගෙන් බොහොම හොඳ සහයෝගයක් ලැබෙනවා. උදේ තේ එක හදන වෙලාවේ ඉඳන් දවසේ සියලුම වැඩ කටයුතු සිදුවෙන්නේ ඇයගේ අතින්.
චරිත තෝරා බේරා ගැනීමට බිරිඳගෙන් බලපෑමක් තියෙනවද?
නෑ... එහෙම දෙයක් නෑ. මම චරිත තෝරාගන්නේ බිරිඳගෙන් අහල නෙමෙයි. විශේෂයෙන්ම කියන්න ඕන මම තෝරාගන්නේ පවුලේ සියලු දෙනාටම එකට සිට බලන්න පුළුවන් චරිත පමණයි.
විශ්වට වැඩිහිටියන්ට පමණයි චරිතයකට ආරාධනා කළොත්?
මම කවදාවත් භාර ගන්නේ නෑ. අපිට හොඳ සංස්‌කෘතියක් තියෙනවා. අපි ඒ දේ රැකගන්න ඕන. ඒ වගේම අපේ ප්‍රේක්‍ෂකයෝ කවදාවත් ඒවගේ දේවල්වලට කැමැතිවෙන්නෙ නෑ.
විශ්ව කියන්නේ පිනට දහමට ලැදි චරිතයක්‌ලු?
ඔව්... මම ගොඩක් කැමතියි පිං දහම් කරන්න. ලැබෙන හැම මොහොතකම පුළුවන් විදියට නැති බැරි අයට සලකන්න තමයි උත්සාහ කරන්නේ.
කොතරම් ජනප්‍රිය වුණත් සම්මාන උළෙලකදී ඔබව නිසි ඇගයීමකට ලක්‌වෙලා නැහැ?
ඇත්තටම ඒ ගැන මම ලොකුවට හිතන්නේ නෑ. මට ලැබෙන ලොකුම සම්මානය තමයි ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය. මට ඒ දේ නොඅඩුව ලැබෙනවා.
විශ්ව කලකිරීමෙන්ද?
අනේ නෑ. සම්මාන ලැබුණේ නෑ කියල මං කලකිරෙන්නේ නෑ. සම්මානයක් කියන්නේ කලාකරුවකුට ලැබෙන අගය කිරීමක්. ඒ වගේම දිරිගැන්වීමක්. ඔවුන්ගේ ගමනට යම් ශක්‌තියක් වෙන්න සම්මානයකට හැකියාව තියෙනවා.
විශ්වට හොඳට සිංදු කියන්න පුළුවන්ලු? ගායනයට එන්න අදහසක් නැතිද?
සිංදු කියන්නනම් මම හරිම ආසයි. නමුත් සීඩී වගේ දේවල් කරන්න නම් මගේ ජීවිතයේ කිසිම අදහසක් නෑ. මහ ලොකුවට නෙමෙයි. කෙනකුට අහගෙන ඉන්න පුළුවන් තත්ත්වෙට කියාගන්න පුළුවන්. රංගනය දියුණු කරගන්න එක තමයි මගේ එකම අරමුණ.
විශ්වට ගුරුහරුකම් දෙන්නේ කවුද?
මහේන්ද්‍ර පෙරේරා තමයි මගේ ගුරුවරයා. එතුමාගේ අවවාද අනුශාසනා එක්‌ක මම අද යම් තරමකට මගේ හැකියාවත් දියුණු කරගෙන තියෙනවා. ඒ වගේම ඉදිරියටත් කැපවීමෙන් රංගනය ගැන හැදැරීම තමයි බලාපොරොත්තුව.
නාලිකාවල හරි හරියටම රියෑලිටි වැඩ. මොකද විශ්ව ඒ වායේ දකින්න නැත්තේ?
අවංකවම කියනවනම් ඒ වගේ දේකට සහභාගී වෙන එකෙන් සිදුවෙන්නේ මගේ රංගන කටයුතුවලට බාධා වෙන එක.මගේ වැඩවලට සිද්ධවෙන්නේ ලොකු පාඩුවක්. ඒ වගේම මගේ පවුලේ අය සමග ගෙවන්න තියෙන කාලය සීමාවෙන එක. මේ හේතු නිසා තමයි මම රියෑලිටි වේදිකාවල දකින්න නැත්තේ.
විශ්වට රියෑලිටි එපාද?
නෑ... නෑ... ඕන නෑ නෙමෙයි. මට බෑ... ඒත් ඒව රටේ තියෙන්න ඕන දේවල්. මේ වෙනකොට මිනිස්‌සු ආදරයෙන් ඒ දේවල් වැළඳගෙන තියෙනවා.
කැදැල්ලේ ජීවිතය?
කවින්ද්‍යා ගංගාදරි කොඩිකාර, ඔනෙත් දනාල් කොඩිකාර යන මගේ දරුවන් දෙදෙනා සහ බිරිඳ සමග බොහොම සතුටින් කාලය ගත කරනවා.
මහේෂ් එදිරිසිංහ