පසුගිය පෙබරවාරි මාසයේ ඇරඹුණු මැද පෙරදිග යුදමය වාතාවරණයත් සමග ඉහළ ගිය මෙරට ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ යළි පළමු වරට පහළ දැමුණා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල යළිත් රුපියල් 20කින් සහ රුපියල් 25කින් පහළ දමා තිබෙනවා.
මෙලෙස පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් පහළ දැමුණේ මාස 4කට පසුව වීම විශේෂත්වයක්.
මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 414ක් ලෙසයි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 382ක්.
කෙසේ වුවත් ඔක්ටෙන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් සංශෝධනය කර නැහැ.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක නව මිලට සමානව සිය සමාගම ද එම ඉන්ධන වර්ග දෙකෙහි මිල පහළ නැංවූ බව ලංකා අයි.ඕ.සී. සමාගම සඳහන් කළා.
දින 100කට අධික කාලයක් මැදපෙරදිග කේන්ද්‍ර කරගනිමින් දියත් වූ යුද ගැටුම් හේතුවෙන් ලොව පුරා ඇති වූ ගෝලීය බලශක්ති අර්බුදයෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අවස්ථා කිහිපයකදී ඉහළ දැමුණා.
යුද ගැටුම ආරම්භ වූ පෙබරවාරි මස 28 වැනිදා වන විට ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 72.87ක් ලෙසයි.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 67.02ක් ලෙස සටහන්වුණා.
කෙසේවෙතත් අමෙරිකාව සහ ඉරානය අතර යුද ගැටුම උත්සන්න වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 126 ක උපරිමයක් දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 115ක උපරිමයක් දක්වාත් ඉහළ ගියා.
නමුත් අමෙරිකා ඉරාන ජනාධිපතිවරුන් යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් මූලික සාම ගිවිසුමකට එළඹීමත් සමග ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාම ඇරඹුණු අතර මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල යුද්ධයට පෙර පැවති මට්ටමත් වඩා අඩු අගයකට පහත වැටී තිබෙනවා.
ඒ අනුව අද වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 72.56ක් දක්වාත් අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70.27ක් ලෙසත් සටහන් වුණා.
මැදපෙරදිග යුද්ධයේ බලපෑමෙන් මෙරට ඉන්ධන මිලද ඉහළ ගිය අතර යුද්ධය ආරම්භයට පෙර මෙරට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල පැවතුණේ රුපියල් 293ක් ලෙසයි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 340ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 281ක් ලෙස සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 329ක් ලෙස සටහන් වී තිබුණා.
කෙසේ වෙතත් මැදපෙරදිග යුද්ධය ආරම්භයෙන් පසු මෙරට ඉන්ධන මිල අවස්ථා කිහිපයකදී ඉහළ දැමුණා.
ඒ අනුව පසුගිය මාර්තු 3 වැනිදා රුපියල් 293ක්ව පැවති 92 පෙට්‍රල් ලීටරයක මිල මාර්තු 10 වැනිදා රුපියල් 317ක් දක්වා ඉහළ ගිය අතර යළිත් මාර්තු 22 වැනිදා රුපියල් 398ක් දක්වා ඉහළ ගියා.
එම මිල අප්රේල් 1 වැනිදා වෙනසකට ලක්නොවුනු අතර මැයි 3 වැනිදා රුපියල් 410ක් දක්වාත් මැයි 31 වැනිදා 434ක් දක්වාත් ඉහළ ගියා.
කෙසේ වෙතත් ඊයේ සිදු කළ මිල සංශොධනයත් සමග මේ වන විට මෙරට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 414ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 495ක් ලෙසයි පවතින්නේ.
එමෙන්ම ඔටෝ ඩීසල් මිල මේ වන විට රුපියල් 382ක් වන අතර , සුපර් ඩීසල් මිල රුපියල් 478ක් වනවා.
මැදපෙරදිග යුද ගැටුම ආරම්භ වූ පෙබරවාරි මස 28 වැනිදා වන විට ලෝක වෙළෙඳපොළේ අමෙරිකානු ඩොලර් 72.87ක් ලෙස පැවති බ්‍රෙන්ට් බොරතෙල් බැරලය මේ වනවිට අමෙරිකානු ඩොලර් 72.56ක් එනම් අමෙරිකානු ඩොලර් ශත 31කින් පහළ ගොස් තිබීම විශේෂත්වයක්.
මෙවන් පසුබිමක මෙරට ඔක්ටේන් 92 පෙට්‍රල් මිල තවමත් පවතින්නේ යුද්ධයට පෙර පැවති මිල එනම් රුපියල් 293ට වඩා රුපියල් 121ක් වැඩියෙන් වීම විශේෂත්වයක්.
කෙසේ වුවත් ඉන්ධන මිල ගණන්වල යම් අඩුවීමක් පැවතියද ත්‍රිරෝද ඇතුළු ප්‍රවාහන මාධ්‍යවල ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි එම වෘත්තිය සංගම් පවසන්නේ.