පටු ලාභ අපේක්ෂාවෙන් තොරව, මානව හිතවාදීව කටයුතු කළ ඔහු වැනි කලාකරුවන් අද සමාජයේ ඉතා විරල වස්තුවකි.
පසුගිය දිනක ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද අතුකෝරළ මහතා සිය මුහුණු පොතට එක් කළ සංවේදී වීඩියෝවක් නිසා බොහෝ දෙනෙකුගේ අවධානය නැවතත් සමන් අල්මේදා වෙත යොමු වී තිබේ. එහි අන්තර්ගත වූයේ කාගේත් දෑසට කඳුළක් එක් කරන අතිශය සංවේදී පුවතකි.
ලාංකීය කලා ලෝකයේ අපේ හිත් සතුටු කළ, වචනයක් කතා කළත් ලේ පිරිසිදු වන තරමට සිනහවක් තෑගි කළ සොඳුරු මිනිසෙකුගේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඉතා සංවේදී පුවතක් වාර්තා වේ. ඒ, අප කවුරුත් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා පිළිබඳවයි.
ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද අතුකෝරළ මහතා පවසන්නේ සමන් අල්මේදා යනු තම කලා ජීවිතය තුළ හමුවූ අවංකම සහ නිහතමානී සහෝදරයා බවයි. අසනීප තත්ත්වයෙන් පසුවන සමන්ව දැක බලා ගැනීමට ගිය අවස්ථාවේ දැනුණු වේදනාව ඔහු විස්තර කළේ මෙලෙසිනි.
"අද තමයි මට එයාව බලන්න එන්න වුණේ... දැක්ක ගමන් මට මාර දුකක් දැනුනා. අපේ ජීවිත සතුටු කරන, අපේ ජීවිත පිනවන යාළුවෝ බොහොම අතලොස්සයි අපිට ඉන්නේ. ඔහුත් ඒ වගේ කෙනෙක්."
සමන් අල්මේදා මෙතරම් කෙට්ටු වී දුර්වල වී සිටින්නේ ඇතැමුන් පවසන පරිදි විනෝදයෙන් ගත කිරීම නිසා ඇති වූ රෝගී තත්ත්වයක් නිසා නොවන බවත්, ඔහු සිදු කළ සැත්කමක (Operation) බලපෑම නිසා මෙලෙස අසාධ්‍ය වී ඇති බවත් ආනන්ද අතුකෝරළ මහතා මෙහිදී අවධාරණය කළේය.
ජීවිත කාලය පුරාම අනුන්ගේ හිත් සුවපත් කළ මේ මානව හිතවාදී කලාකරුවා අද පසුවන්නේ කාගේ හෝ සහයෝගයක් අපේක්ෂාවෙනි. එබැවින් හැකි සෑම කෙනෙක්ම, විශේෂයෙන්ම කලා ක්ෂේත්‍රයේ මිතුරන් ඔහුව බැලීමට පැමිණෙන ලෙසත්, ඔහුට ශක්තියක් වන ලෙසත් ආනන්ද අතුකෝරළ මහතා කාරුණිකව ඉල්ලා සිටියි.
ජීවිතයේ සැඳෑ සමයේ හුදකලා වී සිටින මෙවන් කලාකරුවන් අපේ ජාතික සම්පතකි.