ඇඹිලිපිටිය, ගොඩකවෙල සහ උඩවලව ප්‍රදේශයන්හි ජනතාව මේ වන විට පසුවන්නේ දැඩි භීතියකින්.
ඒ මධ්‍යම රාත්‍රියේ නිවෙස්වලට ඇතුළු වන අභිරහස් "නින්ජා" සොරෙකු නිසා.
මුළු සිරුරම වැසෙන සේ කළු ඇඳුමකින් සැරසී, මුහුණ ආවරණය කරගෙන පැමිණෙන මෙම පුද්ගලයා ඉතා සූක්ෂ්ම ලෙස ආරක්ෂිත වැටවල් මතින් පැන නිවාස තුළට ඇතුළු වේ.
සැබෑ අර්බුදය වන්නේ මොහු නිවසට ඇතුළු වන බව නිවැසියන්ට හෝ නිවසේ සිටින දරුණු සුනඛයන්ට පවා නොදැනීමයි.
බොහෝ ප්‍රදේශවාසීන් සැක කරන්නේ, නිවැසියන්ව සහ සුනඛයන්ව තද නින්දකට හෝ සිහිමුර්ජා තත්ත්වයකට පත් කිරීම සඳහා මොහු යම්කිසි විෂ සහිත ද්‍රාවණයක් හෝ මත්ද්‍රව්‍යයක් මුදාහරින බවයි.
ජනේල පවා ඉතා සූක්ෂ්ම ලෙස ගලවා නිවසට ඇතුළු වන මොහු, නිවැසියන් නිදා සිටින කාමරවලට පවා කිසිදු බියකින් තොරව ඇතුළු වන අයුරු CCTV කැමරාවල සටහන් වී තිබේ.
දැනට වාර්තා වන අන්දමට ව්‍යාපාරිකයන්, නීතිඥයන් සහ වෛද්‍යවරුන්ගේ නිවාස රැසකට මොහු ඇතුළු වී වටිනා දෑ සොරාගෙන තිබේ.
අත් ආවරණ පැළඳ, පිටේ බැඳි බෑගයකින් විවිධ උපකරණ ගනිමින් සිදුකරන මෙම සොරකම් දාමය එක් අයෙකුගේද නැතහොත් කණ්ඩායමකගේ ක්‍රියාවක්ද යන්න තවමත් අභිරහසකි.
මේ පිළිබඳව ඇඹිලිපිටිය සහ රත්නපුර ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් කළ විමසීමේදී අනාවරණය වූයේ, අදාළ සොරා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති නමුත් ප්‍රදේශයේ පවතින දැඩි පොලිස් නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් විමර්ශන කටයුතු ප්‍රමාද වන බවයි.
පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නොවන පසුබිමක, ප්‍රදේශවාසීන් පවසන්නේ තමන් දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇති බවයි.
ඉදිරියේදී මෙවැනි සිදුවීම් නිසා ජීවිත හානි පවා සිදුවිය හැකි බවට ජනතාව බිය පළ කරති.