සාමාන්‍යයෙන් තෙලක් හොඳ වෙන්න නම් ඒ සඳහා ප්‍රධාන කරුණු තුනක් බලපානවා.
එම තෙල ගුණාත්මක භාවයකින් යුක්ත විය යුතුයි.
එය ශරීරය ගැල්වීමෙන් රෝගී සුවපත් වීමේ ගුණය තිබිය යුතුයි.
ගැල්වීමෙන් රෝගියාට කිසිදු අතුරු ආබාධයක් ඇති නොවිය යුතුයි.
ආයුර්වේදයේ තෙල් නිෂ්පාදනය කරද්දී ඉතාමත් පිරිසිදුවේ නිෂ්පාදනය කළ යුතු බව සඳහන් වෙනවා.
විශේෂයෙන්ම කෙළ සොටු දූවිලි දාඩිය ආදිය මිශ්‍ර නොවෙන්න , ඉතාමත් පිරිසිදුව තෙල් නිෂ්පාදනය කළ යුතුයි. තෙල් හිඳිද්දී ගින්දර පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
තෙල ලිපේ තියෙද්දී හිඳීගෙන යද්දි ඒ ලිපෙන් ඉවතට ගැනීම ඉතාම වැදගත්.
තෙලක් පාවිච්චි කරන්නේ කොහොමද?
තෙලක් පාවිච්චි කරන ක්‍රම කීපයක් තිබෙනවා.
1. නෂ්ණ කිරීම - නාසය මඟින් තෙල ශරීරයට ඇතුල් කිරීම
2. වස්ති කිරීම - ගුද මාර්ගයෙන් තෙල ශරීරය තුළට ඇතුළු කිරීම
3. අභ්‍යංග කිරීම - තෙල ශරීරයේ ගැල්වීම
4. පාන කිරීම - ඇතැම් රෝග සඳහා තෙල් පානය කිරීමට සැලැස්සීම
දැන් අපි බලමු තෙල් වර්ග කිහිපයක ගුණ ගැන
• නාරායන තෛලය
නාරායන යනු විෂ්ණු දෙවියන්ට කියන නමක්. මෙය ඉතා ප්‍රසිද්ධ තෛලයක් වූ අතර එහි වැඩිපුරම ඇත්තේ අමුක්කරාය. එමෙන්ම එළබටු, මුරුංග පොතු, බැබිල, කටුවැල්බටු, සුදු හඳුන්, බැබිල, කොට්ටං, සුදු හඳුන් වැනි දේ කල්කයක් ලෙස දමාය. එමෙන්ම මෙම නාරායන තෛලයට තල තෙලද එයට සමාන ප්‍රමාණයෙන්ම හාතවාරිය අල යුෂද එළකිරිද එක්කිරීම කරයි.
මෙම නාරායන තෛලය අංශභාග රෝගීන්ට, පක්ෂ රෝගවලට ඉතා ගුණදායක වෙනවා. එමෙන්ම කොන්ද අමාරුවට, බෙල්ලේ අමාරුවට, අතපය වේදනාවට රුධිර ආශ්‍රිත රෝගවලට ද ඉතා ගුණදායක වෙනවා...
• පිණ්ඩ තෛලය
පිණ්ඩ තෛලයහි අඩංගු වන්නේ ඉරමුසු, වැල්මදටිය, මී ඉටි වර්ගයයි. මෙම කල්කයට තල තෙල් එකතු කරයි. මෙය උකු ඝනකමින් වැඩි තෙලකි. ලේ පිරිසුදු කිරීම, හිස්සොරි සඳහාත්, සමේ ඇතිවන ලෙඩ රෝග සඳහා ද ඉතා ගුණදායක තෙලක් ලෙසින් පිණ්ඩ තෙල ප්‍රකට වෙනවා..
• නීල්‍යාදී තෛලය
හිසකෙස් සඳහා යෙදිය හැකි ඉතා ගුණදායක තෙලක් ලෙසින් නීල්‍යාදී තෛලය හැඳින්විය හැක. මෙය සීතල ගුණ ඇති තෙලකි. නීල්‍යාදී තෛලය සෑදීමේදී නිල අවරිය, කුඹුක් මල්, වැටකේ, නෙළුම් දඩු, කළු තල, යහළු වැනි දේ යොදා ගැනිනි. උදුගොව්වන් කෑම වැළක්වීමට හිසට යොදන නීල්‍යාදී තෛලයෙහි ඇති සීතල පිළිබඳව සැලකිලිමත් වෙන්න.
• සිද්ධාර්ථ තෛලය
හාතවාරිය සිද්ධාර්ථ තෙලෙහි ඇති ප්‍රධානම ද්‍රව්‍ය වන අතර බෙලි, මිදි, තල, බැබිල මුල්, එළබටු, පොල්පලා, කටුවැල් බටු, එරං මුල් ද කල්කය සඳහා යොදා ගැනේ. කසාය ලෙසින් තලතෙල් සහ එළකිරි යෙදේ.
සිද්ධාර්ථ තෙල නෂ්ණ කිරීම, පාන කිරීම, අභ්‍යංග කිරීම ආදියෙන් ද රෝගියාට ලබාගත හැක. නමුත් සිද්ධාර්ථ තෙල දණහිස්වලින් පහළ කොටසේ ආලේප නොකරයි. සිද්ධාර්ථ තෙල් ස්වල්පයක් රත්කර පපුවේ අලේප කිරීමෙන් හෘද රෝගීන්ට ඉතා ගුණදායක වන අතර හිසේ කැක්කුම්වලටද සිද්ධාර්ථ තෙල ඉතා ගුණදායක තෙලකි.
• ඉරිමේදාදිය තෛලය
දත් රෝග සඳහා ඉතා ගුණදායක තෙලක් ලෙසින් ඉරිමේදාදිය තෙල හැඳින්විය හැක. ශූරන්ද පොත්ත, කරාබු නැටි, වැල්මී, කලාඳුරු, කැප්පෙට්ටියා වැනි දේ මේ සඳහා යොදා ගැනේ. කසාය සඳහා තල තෙල් යොදා ගැනේ. දත් අවපැහැ ගැන්වීම, දත්මුල් දියවීම, දත් රිදීම, වැනි බොහෝ දත් රෝග සඳහා ඉරිමේදාදිය තෛලය ඉතා ගුණදායක වේ.
දේශය පුවත්පත ඇසුරින්