"මන්නා රොෂාන්ගේ මල්ලි මධුසංකටයි තවත් එකෙකුටයි නිරිපොළ වෙළ ගාවදී වෙඩි තිබ්බා. මම කතා කරන්නේ ලලිත් කන්නංගර ගිහින් බලන්න"යනුවෙන් පවසමින් මන්නා රොෂාන්ගේ සහෝදරයාට සහ ඔහුගේ මිතුරකුට ඊයේ පෙරවරු 11.30 ට පමණ වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයකු විසින් හංවැල්ල පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළා.
එම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ මන්නා රොෂාන්ගේ සහෝදරයා සහ ඔහුගේ මිතුරා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මන්නා රොෂාන්ගේ සහෝදරයා මියගොස් තිබූ බව පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාරියවසම් අතුකෝරළගේ දොන් මධුසංක නැමැති පුද්ගලයක්.
දැනට ඩුබායි හි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නංගර නැමැත්තා සහ මන්නා රොෂාන් අතර පැවැති මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවී තිබූ ආරවුලක් මත මෙම වෙඩි තිබීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාරණයවී තිබේ.
සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 500 ක පමණ වපසරියක් තුළ සී.සී.ටී.වී දර්ශන හෝ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති අතර ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තා සහ දුරකතන කුලුනු සංඥා මාර්ගයෙන් තොරතුරු ලබාගැනීමට විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොට්ඨාස අපරාධ විමර්ශන අංශ, යුද හමුදාව ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් වැඩිදුර විමර්ශන සිදුකරයි.