කාන්තා රෝග අතර බොහෝ අය අපහසුතාවට පත් කරන රෝගයක් තමයි ‘සුදයෑමේ රෝගය.’ හැබැයි බොහෝ දැරිවියො, කාන්තාවන් පවා මේ තත්ත්වය දැන හෝ නොදැන වසංගනවා. අත් බෙහෙත් කර කර ඉන්නවා. ඒ නිසා මෙවරත් වැඩිදෙනාගේ ඉල්ලීම මත අප සුදයෑමේ රෝගය
සම්පූර්ණයෙන් සුවපත් කරගත හැකි ආකාරය ගැන ඔබ දැනුවත් කිරීමට සිතුවා. මේකෙ ආරම්භය ඇති වෙන්නෙ කුඩා දැරිවියන් වැඩිවියට පත් වන්නට ආසන්න අවධියේදීයි. ඉන් පස්සෙ කුඩා දැරිවියකව, මල්වර වුණාට පසුවත් ඔය තත්ත්වය තියෙනවා. එහිදී සිදුවන්නෙ නොදැනීම ස්‍රාවයක් පිටවී දැරියන්ගේ යට ඇඳුම් තෙත් වීමයි. මෙහෙම වුණාම හසරක් නොදත් දැරිවියෝ ලැජ්ජාවටත් කලබලයටත් පත් වෙනවා. කාටත් කියන්නෙ නෑ.
බොහෝ දරුවෝ තමන්ගෙ අම්මටවත් කියන්නෙ නෑ. මේ තරම් මුල්ම කාලයේදී නම් එය රෝගයක් කියලා කියන්න බැහැ. එය ස්ත්‍රියකගේ ස්වාභාවික ක්‍රියාවලියක ආරම්භයක් හැටියටයි අපේ ආයුර්වේද ක්‍රමයට සලකන්නෙ. මේ විධියට ඝනව වෑහෙන ස්‍රාවය වැඩිවියට පත් වෙලා වසර දෙක තුනක් යනකන්ද ඇතැම් දැරිවියන්ට තියෙනවා.
මෙයින් ඇතිවන අතුරු ආබාධත් තියෙනවා. අතුරු ආබාධ කියන්නෙ කොන්ද රිදෙනවා කියනවා, යටි බඩ ප්‍රදේශය රිදෙනවා කියනවා, කම්මැළි බව දැනෙනවා. නිදිමතයි. කොච්චරවත් ඇඟපත රිදෙනවා. එක එක සන්ධි කැක්කුම් අල්ලනවා. දුවන්ඩ බැහැ. සෙල්ලම් කරන්ඩ බැහැ කියලා පොඩි ගැහැනු දරුවෝ කියනවා.
මෙහෙම වුණාම අම්මලාත් දැනුවත් වීමක් හරි හැටි නැතිව දරුවන්ව බෙහෙත් ගන්ඩ එක්කගෙන යනවා. නමුත් දරුවෝ මේක අම්මලාට කියන්නෙ නැහැ. ඒ නිසා අම්මලා දන්නෙත් නැහැ. වෛද්‍යවරයාටත් මේක ගැටලුවක් වෙන අවස්ථා නැතිව නොවෙයි.
රෝගය හැදෙන්න ප්‍රධානම හේතුව තමයි ඇතැම් කාන්තාවන් තුළ තිබෙන උෂ්ණාධික බව. ශරීරය සිසිල් නොවීම. නමුත් මේ රෝග තත්ත්වයේ ස්වාභාවික විදිහකුත් තියෙනවා. ඒත් තදබල විදිහට තිබුණත් අපි එය වටහාගෙන වහ වහා ප්‍රතිකාර අරඹනවා. ඒ තමයි එකම ගැලවීම. ඇතැම් දරුවෝ ඇවිත් අම්මලාට කියනවා තමන්ගෙ යට ඇඳුම නිතර තෙත් වෙනවා. ඒක දියරයක් වගේ තැවරෙනවා. ටික වෙලාවකදී පිටි වගේ ගල් වෙනවා. අප්පිරියයි, ගඳයි, ඉන්න හිතෙන්නෑ කියලා. මේ වගේ තදටම තියෙනවා නම් ඒවා දුඹුරු පැහැයට ඝන වෙනවා නම් අපට රෝගයට ප්‍රතිකාර පටන් ගන්න ඕනෑ කොතැනකින්දැයි දත හැකියි.
මෙම රෝගයේ සැබෑව ඔබ දත යුතුමයි. එහි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි “රක්තප්‍රදර” සහ අනෙක තමයි “ස්වේතප්‍රදර”. මේ රෝග තත්ත්වයන් දෙක අපි හරි හැටි වෙන්ව හඳුනාගෙන ප්‍රතිකාර අරඹනවා. ‘රක්තප්‍රදර’ වලට වඩා ‘ස්වේතප්‍රදර’ සුද යෑම කියන තත්ත්වයයි.
අපි මුල් කාලෙ තිබිලා කාලයක් එහෙමම ප්‍රතිකාර නොගෙන දිගට ගියහම ඇතිවන තත්ත්වය තමයි “රක්තප්‍රදර” තත්ත්වය. එම තත්ත්වයේදී ලිංගාශි්‍රත ප්‍රදේශය තෙත් වන්නෙ ලේ පාටට හුරු ලේ කලවම් වෙලා වගේ දුඹුරු පැහැයට ගලන්නෙ එම තත්ත්වයයි. එයින් ඇතිවන වේදනාකාරී ගතිය වැඩියි. මේකෙදි අතුරු ආබාධ වැඩියි. ඔළුව රිදෙනවා කියනවා, අර ඉහත දැක්වූවා වගේ ලෙඩ ගොඩයි.
ශරීරය කෘශ වීමත් මින් සිදු වෙනවා. ගමේ ගොඩේ අය මේ වගේ අය දැක්කම කියන්නෙ “දිරලා ගිහින් වගේ” කියලයි. ඒ දරුණුම තත්ත්වයයි. එහෙම දරුවෙක් අප වෙත ආවාම අප වහා ක්‍රියාකාරි වෙලා ඇය දැනුවත් කරලා අවශ්‍ය ප්‍රතිකාර අරඹනවා. ඇයට සුදුසු ඇවතුම් පැවතුම්ද කියාදෙනවා.
“මෙහෙම ඇතිවෙන්න ප්‍රධානම හේතුවක් තමයි වතුර නොබීම, ශරීරයට අවශ්‍ය වතුර
හරි හැටි පානය නොකරන ගැහැනු දරුවන් අද බොහෝමයි. ඒ නිසාම ඒ අය නිරපරාදේ රෝගී වෙනවා. නිතරම ශරීරය සිසිල්ව තබාගත යුතුයි.
ඇඟ නිවෙන දේම කරගන්න ඕනෑ. ගැහැනු දරුවන් වැඩිවියට පත් වුණාම අම්මලා ඒ දරුවට ඉතා හොඳ අධි පෝෂණය ලබා දෙන්න ඕනේ. පුතාලට විතරක් කවලා හරියන්නෙ නෑ. ගැහැනු දරුවෝ දරුවන් හදන, වදන මහා කාරියකට අත ගහන අය. ඒ නිසා විශේෂ අවධානයක් ගැහැනු දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අම්මලා කටයුතු කළ යුතුමයි.
ගැහැනු දරුවන්ට බඩ පිරෙන්න බත් කවලම හරියන්නෙ නෑ. විශේෂයෙන් පලා වර්ග වගේ පෝෂණ ගුණයෙන් යුත් හොඳ ආහාර වේලක් දෙන්න ඕනෑ. පලා වර්ග අමුවෙන් දෙන තරමට හොඳයි. ඔය සුද යන රෝගයට හොඳම එකක් තමා ‘වැල්පෙනෙල, මුගුණුවැන්න, කූරතම්පලා, සාරණ, ගෙඳ වගේ දේවල්. සීතල ආහාර, පලා වර්ග ඒවා සම්බෝල හදලා හොඳට කවන්න ඕනෑ. පොල් සම්බෝල හදනවා වගේ හරිගස්සලා ගන්ට ඕනෑ.
සුද යෑමේ තත්ත්වය දරුණුම නම් ඔබ ගොඩ වෙදකම් කර කර ඉඳලා හරියන්නෙ නෑ, වහා වෛද්‍ය උපදෙස් මත එක දිගට ප්‍රතිකාර ගත යුතුයි. ඒ වෙනුවෙන් කැපවිය යුතුයි. සුව වීම සිදුවන්නේ එවිටයි. අත්තික්කා පොතු, නෙල්ලි, රසකිඳ, සුදු හඳුන් ඔය ටික එකතු කරලා තේ කහට වගේ රතු වෙන්න තම්බලා උදේට කෝප්පයයි, හවසට කෝප්පයයි බොන්න ඕනෑ. මෙහි එන ‘සුදු හඳුන්’ ඔසුව කෙළින්ම ගැහැනු ළමයින්ගෙ ගර්භාශයට
බලපානවා. එය සිසිල් කරනවා. ඒ නිසා නිරපරාදේ රෝග සඟවගෙන ඉන්න එපා. ඔබව පූර්ණ සුවයට පත් කළ හැකි බලගතු ඔසු ප්‍රතිකාර තියෙනවා. හැබැයි ඔබ වෛද්‍යවරයාගේ පරීක්ෂාවන් නිසි උපදෙස් අනුවත් ඔසු ගත යුතුයි. ඒ තමයි රෝගය මුළුමනින්ම නිවැරැදිව සුවකර ගැනීමේ මඟ.
(වෛද්‍ය උපදෙස් මත ලබා ගත යුතුයි)
(මව්බිම)