පසුගිය කාලය පුරා ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් කණගාටුවට ලක්වූ පුවතක් වුනේ ශ්‍රී ලංකා පිලේ ආරම්භ පිතිකරුවෙකු වූ කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනාවකට ලක්වීමයි.
කෙසේ නමුත් මේ වන විට දැනගන්නට ලැබෙන්නේ කුසල් ජනිත් පෙරේරාට එල්ල වී තිබූ තහනම් උත්තේජක චෝදනාවෙන් ඔහු නිදහස් කරන්නට ICCය තීරණය කර තිබෙන බවයි.
එසේම එංගලන්ත තරග සංචාරයට කුසල්ව එක් කරගන්නවාද යන්න පිළිබඳව හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරන බවත් කුසල් ජනිත්ගේ කළමණාකරු පැවසුවා.
පසුගිය දිනෙක කුසල් ජනිත්ට වසර 4ක තරඟ තහනමක් පැනවීමට ඉඩ ඇති බවට වාර්තා වුනත් ඔහු චෝදනාවෙන් නිදහස් වීමත් සමඟ එය අසත්‍යක් බවට පත් වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ඒ අනුව ඔහුට අද සිට හෝ ක්‍රීඩා කළ හැකි බවයි. නවසීලන්ත තරඟ සංචාරයට එක්ව සිටි කුසල් ජනිත් වහාම නැවත දිවයිනට කැදවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස 7 වැනිදායි. තහනම් උත්තේජක භාවිතය පිළිබද ඔහුට චෝදනා එල්ලවීම ඊට හේතු වුණා.
පසුව කටාරයේදී සිදුකළ බී සාම්පල පරීක්ෂණයකින් අසමත්වීම නිසා කුසල් ජනිත් පෙරේරාට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වසර 4 ක ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවා. පසුව මෙම තීරණයට එරෙහිව කුසල් ජනිත් නීති මගින් කටයුතු කළ අතර, ඒ අනුවයි ඔහු මෙලෙස තහනම් උත්තේජක චෝදනාවලින් නිදහස් කර ඇත්තේ.