ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විශේෂ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද (අගෝස්තු 05) මධ්‍යම රාත්‍රී 12.00 න් පසු අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තහනම විභාග කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් බලපැවැත්වෙනු ඇත.
විභාග කාලසීමාව තුළ සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් දැඩි රෙගුලාසි කිහිපයක් පනවා තිබේ..
අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම හෝ විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සපුරා තහනම්ය.
"විභාගයට එන ප්‍රශ්න ලබාදෙනවා" හෝ "ඊට සමාන ප්‍රශ්න ලබාදෙනවා" යනුවෙන් සඳහන් පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සහ එවැනි ද්‍රව්‍ය ළඟ තබාගැනීමද තහනම් වේ.
අගෝස්තු 09 වැනිදා විභාගය - මධ්‍යස්ථාන 2,723 ක් සූදානම්
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු 09 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723 කදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
මේ අතර දිවයින පුරා පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්වීමට නියමිතයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසීය. පවතින වැසි සහිත තත්ත්වය හමුවේ විභාග කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී තීරණය කිරීමට නියමිතය