ඉතින් අදත් (09) ඒ විදිහටමයි කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නම් කියන්නේ. විශේෂයෙන්ම අද එළියට බහිනවා නම් කුඩයක් අරගෙනම යන එක තමයි ඇඟට ගුණ! මොකද පළාත් කිහිපයකටම අදත් වැසි සහ තද සුළං තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
සබරගමුව සහ බස්නාහිර පළාත්වල වගේම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අයට අදත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණෙන් නිවේදනය කරනවා. ඒ වගේම වයඹ පළාතටත් වැසි වාර කිහිපයක්ම බලාපොරොත්තු වෙන්න පුළුවන්ලු.
ඌව පළාතේ අය වගේම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල අයට නම් උදේ පාන්දර ටිකක් පායලා තිබුණත්, හවස 2.00 න් පස්සේ නම් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හවසට වැඩ ඇරිලා ගෙදර යනකොට පරිස්සමෙන්!
වැස්ස විතරක් නෙවෙයි, අද සුළගේ වේගයත් ටිකක් වැඩිවෙන්නයි යන්නේ. උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වගේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.
ගිගුරුම් සහිත වැසි එක්ක එන මේ තාවකාලික තද සුළංවලින් සහ අකුණු වලින් සිදුවන අනතුරු අවම කරගන්න හැමෝම කල්පනාවෙන් වැඩ කරන්න කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හැමෝගෙන්ම ඉල්ලන්නේ. ඒ නිසා අද දවසේ අනවශ්‍ය ගමන් බිමන් අඩු කරලා, අකුණු ගහන වෙලාවට එළියට බහින්නේ නැතුව පරිස්සමෙන් ඉන්න එක තමයි වඩාත්ම හොඳ!