අමෙරිකාවේ උපත ලබන දරුවන්ට ස්වයංක්‍රීයව පුරවැසිභාවය හිමිවන "Birthright Citizenship" ප්‍රතිපත්තියට සීමා පැනවීමේ උත්සාහය යළි ආරම්භ කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව විධායක නියෝග දෙකකට අත්සන් තබා තිබෙනවා.
මෙම පියවර ගෙන ඇත්තේ, උපතින්ම පුරවැසිභාවය සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනය මීට පෙර ගත් උත්සාහය අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් සති කිහිපයකට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නව නියෝග අනුව, විදේශීය ත්‍රස්ත සංවිධානවල සාමාජිකයන්, විදේශ රජයන්ගේ සේවකයන්, වංචනික ලෙස පුරවැසිභාවය ලබාගැනීමට උත්සාහ කළ පුද්ගලයන් සහ නීතිය මගින් පුරවැසිභාවය හිමි නොවන අමෙරිකානු භූමි ප්‍රදේශවල සිටින ඇතැම් පුද්ගලයන්ගේ දරුවන්ට උපතින්ම පුරවැසිභාවය ලබා නොදීමට නව නිර්වචන හඳුන්වා දී තිබෙනවා.
ඊට අමතරව, ගර්භණී කාන්තාවන් සංචාරක වීසා යටතේ අමෙරිකාවට පැමිණ දරුවන් බිහිකර ඔවුන්ට අමෙරිකානු පුරවැසිභාවය ලබාදීම අරමුණු කරගත් "Birth Tourism" ක්‍රමවේදය තහනම් කිරීමට ද ට්‍රම්ප් නව නියෝගයක් නිකුත් කර ඇති බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ.
ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, මෙම පියවර මීට වසර ගණනාවකට පෙර ගත යුතුව තිබූ බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය අසාධාරණ එකක් බවත්.
කෙසේ වෙතත්, නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාට විදේශිකයන්ගේ ඇතුළුවීම සම්බන්ධයෙන් යම් සීමා පැනවීමේ බලය තිබුණද, අමෙරිකාවේ උපත ලබන දරුවෙකුගේ පුරවැසිභාවය විධායක නියෝගයකින් අහෝසි කිරීම ව්‍යවස්ථානුකූලව බරපතළ ගැටලු මතු කළ හැකි බවයි.
කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ නීති මහාචාර්ය ගේබ්‍රියෙල් චින් සඳහන් කර ඇත්තේ, දරුවෙකු අමෙරිකාවේ උපත ලැබූ පසු ඔහු හෝ ඇය පුරවැසියෙකු නොවන බව ජනාධිපතිවරයාට තීරණය කළ නොහැකි බවත්, එම කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ මෑත තීන්දුවෙන් ද පැහැදිලි වී ඇති බවත්.
මේ අතර, සංක්‍රමණ ප්‍රතිපත්ති ආයතනය (Migration Policy Institute) පවසා ඇත්තේ, "Birth Tourism" හරහා අමෙරිකාවේ උපත ලබන දරුවන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව 22,000ත් 26,000ත් අතර වන බවයි.
කෙසේ වෙතත්, මෙම නව විධායක නියෝග ද අධිකරණය හමුවේ නීතිමය අභියෝගවලට ලක්වීමේ ඉඩකඩ පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.