පන්නල පහළ ගලයාය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් රිය අනතුරකට ලක්‌ව පසුගියදා මියගිය අතර ඇයව රෝහලට රැගෙන යනබව පවසා පුද්ගලයෙකු අනතුර සිදුවූ ස්ථානයෙන් ඇයව ගෙනගොස් වෙනත් පාළු තැනක දමාගිය පුවතක් කොටදෙණියාව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ එක්දරු මවක් වන අතර ඇය පසුගිය 6වනදා අලුයම 5.30 පමණ රැකියාවට යෑමට මීගමුව කොටදෙණියාව මාර්ගයේ පන්නල බස් නැවතුම ආසන්නයේ රැඳී සිට තිබේ.
එහිදී ඇය අවාසනාවන්ත ලෙස කුඩා ලොරියක වැදී අනතුරට ලක්ව සිටි අතර පසුව ලොරි රථයේ රියෑදුරු විසින් මෙම මව රෝහලට ඇතුළත් කරන බව පවසමින් එම රථයේ දමාගෙන ගොස් තිබේ.පසුව ඔහු ලොරිය අතර මග නවතා කොටදෙණියාව, කටුකෙන්ද, ප්‍රදේශයේ වෙල්වගුර නමැති කුඩා මාර්ගයක පිහිටි ලඳු කැලයක මෙම කාන්තාව දමා පලාගොස් ඇත.
පසුව ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව සිරුර සොයාගෙන ඇත. අනතුර සිදුවන අවස්‌ථාවේදී බස් නැවතුම අසල රැඳී සිටි එක් අයකු අනතුර සිදු කළ ලොරි රථයේ අංකය විදුලි කණුවක ලියා රැකියාවට ගොස් තිබේ. එම අංකය ඔස්‌සේ සිදුකළ පරීක්‍ෂණවලදී ලොරි රථය කොටදෙණියාව, අඹගහලන්ද ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙන අතර රියෑදුරු නිවස වසා පලාගොස් ඇත.
මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය මීගමුව මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි. කොටදෙණියාව සහ පන්නල පොලිසි පරීක්‍ෂණ සිදුකරයි.