මාරවිල ප්‍රදේශයේ උත්සවයක් අතරතුර අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී ගිනි අවි දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. නාත්තන්ඩිය, ධම්මිස්සර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සුහද හමුවක් අතරතුර දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තා. ඒ, අද අළුයම 2.30 ට පමණ. මෙම සුහද හමුවට සංගීතය සපයනු ලැබුවේ ජිප්සීස් වාදක මණ්ඩලය වන අතර එහි නායක සුනිල් පෙරේරා ගායනා කළ ගීතයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් මෙම ගැටුමට මුල් වුණා.
ගැටුම අතරතුර සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු පියෙකු වන සුසන්ත කුරුකුලසූරිය මහතායි. ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් සිටි ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. මියගිය සුසන්ත කුරුකුලසූරියගේ මව දැක්වූ අදහස්...
- එයා එක්ක පුද්ගලික තරහකුත් තිබ්බා. යූ.එන්.පී. එකේ ඉඳලා ඇවිත් මහින්ද මහත්තයාගේ පක්ෂයෙන්නේ ඉල්ලන්න යන්නේ .
මෙම ගැටුමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලැබූ අතර ඔහු ඇතුළත් කෙරුණේ මාරවිල මූලික රෝහලටයි
ගැටුමෙන් තුවාල ලැබූවෙක් සිද්ධිය පිළිබඳව පැවසුවේ මෙවන් දෙයක්....
- පාටියේදී කතාවක් ගියා. මට තේරුණා මේ දෙන්නා ඕනවට වඩා ළංවෙනවා කියලා. එක පාරට ඉන අතගාලා ගත්තා මොකක් හරි. සද්දෙ විතරයි ඇහුණෙ. මට තිබ්බ මචං මූ කිව්වා. මම පැනලා පිස්ටල් එක ගත්තා. පිස්ටල් එක මගේ පපුවට හිරවුණා. මට උඩින් ගැහුවා. කන ගැලවෙනවා වගේ ගැහුවා. ඉස්සරහින් ඇවිත් පොලිසියෙන් පිස්ටල් එක අතහරින්න කිව්වා. ඊට පස්සේ සේෆ්ටි කියලා දැනගත්තාට පස්සේ මම පිස්ටල් එක දුන්නේ. පොලිසිය ඉස්සරහ ඉද්දිත් ඒ අය මට ගැහුවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු සතුව තිබූ ගිනි අවි දෙකක් සහ ජීප් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.VIDEO