පෙනහලුවලට විෂබීජයක් ආසාදනය වීමෙන් ඇතිවූ නිව්මෝනියා තත්වයකින් මියගොස් ඇත්තේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සේවය කරමින් සිටි තෙන්නකෝන් මුදියන්සේලාගේ චින්තක දීපාල් අමරසුරිය නමැති අංක 48, බණ්ඩාරවෙලපාර, හාලිඇළ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකි.
මියගිය වෛද්‍යවරයාගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් 14 වැනිදා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරණු ලැබීය.
එහිදී සාක්ෂිකාරිය තවදුරටත් සාක්ෂිදෙමින් මෙසේ ද කීවාය.
මියගොස් සිටින්නේ මගේ සැමියායි.
මම කථන හා භාෂා චිකිත්සකවරියක් ලෙස රැකියාව කරනවා.
අපි නුවර පදිංචි වෙලා හිටියේ.
මහත්තයා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සේවය කළා. අපි පදිංචිවෙලා සිටි ස්ථානයේ සිට රෝහලට කිලෝමීටර් දෙකහමාරක් පමණ ඇති.
අපි විවාහවෙලා අවුරුදු දෙකක් පමණ වෙනවා. මහත්තයා වෛද්‍ය වෘත්තියට ගිහින් වසර දෙකක් පමණ වෙනවා. අපිට අවුරුද්දක් වයස පුතෙක් ඉන්නවා.
මහත්තයාට කිසිදු අසනීපයක් තිබුණේ නැහැ. මහත්තයාට පසුගිය පෙබරවාරි මාසයේ කොවිඩ් රෝගය වැළඳිලා සනීපවුණා. ජුනි මාසයේ 25 වැනිදා පුතාට වෛරස් උණක් හැදුනා.
ඊට පසු අපි දෙදෙනාටත් හැදුනා.
අපේ අයියාට හා අක්කලාට උණ හැදිලා සනීප වුණා. උණ රෝගයට මහත්තයා තමයි බෙහෙත් දුන්නේ. මහත්තයාට තදින් උණ හැදුණේ නැහැ. ඊට පසු රැකියාවටත් ගියා. මහත්තයාට උණ වැළදුණු දින හවස ඔහු ඉන්ධන පෝලිමට ගිහින් දින දෙකක් හිටියා.
මහත්තයා නිවාඩු පිට හිටියේ. නැවතත් තෙල් පෝලිමට ගිහින් දින 02ක් තෙල් පෝලිමේ හිටියා. ජුලි මාසයේ 03, 04, මහත්තයා එකදිගට වැඩකළා. ඒ වනවිට මහත්තයාට කැස්ස ගතියක් තිබුණා.
කැස්සට ප්‍රතිකාර ගත්තද අඩුවක් වුණේ නැහැ. 05 වැනිදා මහත්තයා පේරාදෙණිය රෝහලට ගිහින් පෙන්නුවා. එදින රෝහලේ නතර කරගත්තා. එදිනම නුවර රෝහලට මහත්තයා මාරුකොට යැව්වා.
නුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මහත්තයා කරාපිටිය රෝහලට මාරුකළා. එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කරන්න තමයි කරාපිටිය රෝහලට මාරු කළේ. නුවර රෝහලින් කීවා මහත්තයාගේ පෙනහලු නරක්වෙලා වගේ ඒ නිසා කරාපිටිය රෝහලට මාරුකොට යවන බව කීවා.
කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් කීවා රෝගියාගේ තත්වය ටිකක් අමාරුයි පෙනහලුවලට විෂබිජ ගිහින් කියලා. 14 වැනිදින උදෑසන 7.30ට විතර මහත්තයා මියගියා යැයි ඇය කීවාය.
මියගිය වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මිය විසින් සිදුකරනු ලැබීය.
ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා නිව්මෝනියාව වැළඳීමට හේතුවූ විෂබිජය පෙනහලුවල හා ශරීරය පුරා පැතිරීමෙන් මරණය සිදුවී ඇති බවට තීන්දු කළේය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල,
හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්
දිවයින