මෙට්‍රික් ටොන් 40,000 බැගින් අඩංගු ඩීසල් නෞකා දෙකක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 41,000 ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බවයි එම සංස්ථාව නිවේදනය කළේ.
මේ වනවිට එම ඩීසල් නෞකා අතරින් දෙකකට සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා අවසන් කර ඇති අතර, ඉතිරි නෞකාව සඳහා ගොඩබෑමට පෙර මුදල් ගෙවීමට සංස්ථාව එකඟ වී තිබෙනවා.
එසේම, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක්ද අනිද්දා දිවයිනට ළඟා වන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ.
ඊට 30% ක මුදලක් ගෙවා ඇති අතර, ඉතිරි මුදල ගෙවීමට ද කටයුතු සූදානම් කරමින් පවතිනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් තවත් නෞකාවක් මේ මස 22 හෝ 23 වැනිදා දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා අවසන් කර ඇති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඊට අමතරව දැවි තෙල් මෙට්‍රික් ටොන් 31,500 ක් රැගත් නෞකාවක් එළැඹෙන 21 වැනිදා දිවයිනට ළඟා වන අතර, ඊට අවශ්‍ය මුදල් ගෙවීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි සංස්ථාව සඳහන් කළේ.
ඒ අනුව රට තුළ ඉදිරි සතිය වනවිට ඩීසල් මෙට්‍රික් ටොන් 124,000 ක් සහ පෙට්රල් මෙට්‍රික් ටොන් 70,000 ක තොග සංචිත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතිනු ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
එසේම, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 ක් ආනයනය කිරීමට ද සංස්ථාව කටයුතු කරමින් සිටින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.
ඒ අනුව ඉදිරියේදී හිඟයකින් තොරව ඩීසල්, පෙට්රල් සහ අනෙකුත් ඉන්ධන පාරිභෝගික ජනතාවට ලබාදීමටත්, මේ වනවිට අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඩීසල් නිකුත් කිරීමට ගෙන ඇති තීරණය ඉදිරි සතිය තුළ දී මෙම ඩීසල් තොග පැමිණීමෙන් පසු ඉවත් කිරීමටත් කටයුතු කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.
මේ අතර, තවමත් දිවයින පුරා පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබෙනවා.