විවිධ සටහන් පාඨ සහ ගීත කියමින් ඔවුන් එහි රැඳී සිටියා.
කෙසේ වෙතත් පොලිස්පතිවරයා විසින් ඊයේ රාත්‍රියේ බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස හතකට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර එය, අද උදෑසන අටට ඉවත් කරනු ලැබුවා.
ඒ, පොලිස් ඇඳිරිනීතිය පැනවීම නීත්‍යානුකුළ නොවන බව නීතීඥ සංගමය ඇතුලු පාර්ශ්ව රැසක් ප්‍රකාශ කර තිබූ පසුබිමකයි.
පසුව අද උදෑසන ජනතාවද කොළඹ - කොටුව දෙසට පැමිණීමත් සමඟ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ ඔවුන් එක්ව මාර්ග කිහිපයක විරෝධතාවක නිරතවුණා.
කොළඹ - කොටුව - ටෙලිකොම් මංසන්ධිය අසළින් යුද හමුදාව සහ පොලිසිය එක්ව තාවකාලික මාර්ග බාධකයක් ඉදිකර තිබූ අතර, එය බිඳ දැමීමට විරෝධතාකරුවන් උත්සාහ ගැනීමත් සමඟයි ආරක්ෂක අංශ පළමුව ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ.
එමෙන්ම චැතම් වීථිය අසළින් විරෝධතාකරුවන් මාර්ග බාධකයක් බිඳ දැමීමට උත්සාහ කිරීමත් සමඟ එම අවස්ථාවේදී ද පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.
මේ අතර ජනාධිපති කාර්යාලය පිහිටි අරගල භූමිය අසළ ද මේ වනවිට විශාල පිරිසක් එක්ව සිටින අතර, එම ස්ථානයටද කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබුවා.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද අද උදෑසන එම ස්ථානයට පැමිණ තිබුණා.
මේ අතර විරෝධතාව අතරතුර පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඊට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුළත්.
එසේම දිවයිනේ ප්‍රදේශ රැසකින් ගාලු මුවදොර අරගලයට සහාය දක්වමින් ජනතාව විරෝධතා පා ගමනින් කොළඹට පැමිණෙමින් සිටිනවා.
ඇතැම් ප්‍රදේශවල නගර මධ්‍යයේද විරෝධතා පැවැත්වෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
ගාලු මුවදොර අරගලයට සහය දක්වමින් මාතර බස් නැවතුම්පල අසළ පිහිටා ඇති අරගල භූමිය ඉදිරිපිටද අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණේ සිවිල් සංවිධාන සහ වෘත්තියවේදීන්ගේ සහභාගිත්වයෙන්.
මේ අතර අනුරාධපුර - ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේද විරෝධතාවක් පැවති අතර, අවිස්සාවේල්ල නගර මධ්‍යයේ ද විරෝධතාවක් පැවැත්වුණා.
දඹුල්ල, සීගිරිය සහ මාතලේ ප්‍රදේශවලද විරෝධතා පැවති බව අප වාර්තාකරු සඳහන් කළා.