ඇල්පිටිය, පිටුවල අඬාහැලෙන දිය ඇල්ල ආසන්නයේ මියගිය තරුණ යුවළගේ මරණය මිනීමැරුමක් බවට පොලිසිය හෙළිකර ගැනීමෙන් පසුව තරුණයාගේ මිතුරන්ගේ දුරකථන පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
එහිදී තරුණ යුද හමුදා සෙබළා සිය මිතුරෙකුට ‘මම හරි බයෙන් ඉන්නේ. මට හරි බයක් දැනෙනවා. ඉක්මනින් කෝල් එකක් ගන්න‘‘. යැයි කෙටි පණිවුඩයක් යවා ඇතැයි වාර්තා වෙනවා. ඝාතනයට ලක් වූ පෙම් යුවළගේ ජංගම දුරකථන දෙක, තරුණියගේ පොත් බෑගය, තරුණයාගේ හැඳුනුම්පත් සහිත මුදල් පසුම්බිය, තරුණියගේ පාවහන් යුගල අතුරුදන්ව තිබේ.
පිටුවල, අඬාහැලෙන ඇල්ල අසලට මෙම යුවළ ගොස් ඇත්තේ ඉකුත් 11 දා ය. එදින දහවල් 11.00ත් 12.00ත් අතර කාලයේ දී දෙදෙනා එම ස්ථානයට යන්නට ඇති බව තරුණයා ඔහුගේ මිතුරකුට දහවල් 11.45ට යැවූ කෙටි පණිවුඩයෙන් අනාවරණය වන බව පොලිසිය සඳහන් කරයි.
ඔහු එම කෙටි පණිවුඩය යවන අවස්ථාවේ මිතුරාගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත වී තිබි ඇත. ඝාතනයට ලක් වූ තරුණයාගේ මිතුරන්ගේ ජංගම දුරකථන 10-15ක් පමණ පරීක්ෂා කිරීමට ද පොලිසිය කටයුතු යොදා ඇත. මෙම පෙම් යුවළ ඝාතනය කර එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය නොමග යැවීමට මළසිරුරු අසල කෘමිනාශක බෝතලයක් ද සැකකරුවන් දමාගොස් තිබුණි.
තරුණයාගේ මළ සිරුර තිබූ ස්ථානයේ වමනය කොටස් තිබූ බවත්, වස බී සියදිවි නසාගත්තේ නම් එම වමනය කොටස් අසල මැස්සන්, කෘමීන් මියගොස් සිටිය යුතු බව ද එවැනි ආකාරයෙන් එහි සතුන් මියගොස් නොසිටි බව ද පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතනය එක් අයකු හෝ දෙන්නකු එකතු වී සිදු කරන්නට ඇති බවත් පොලිසිය සඳහන් කරයි. මළසිරුරු තිබූ ප්‍රදේශය ආශ්‍රිතව පුද්ගල පහරදීම්, බියගැන්වීම් මීට පෙර සිදුව තිබුණ ද ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි ලැබි නොමැතිවීම හේතුවෙන් පරීක්ෂණ කටයුතු සිදු නොකෙරුණි.
තරුණ ජෝඩු පැමිණෙන මෙවැනි ස්ථානවල විවිධ පහත් ආශාවන් සහිත පුද්ගලයින් ගැවසෙන බවත්, මෙම පෙම් යුවළ ද දිය ඇල්ල අසලට ගිය අවස්ථාවේ එම යුවළ වෙන්කර දෙදෙනාව ස්ථාන දෙකකට රැගෙන ගොස් සිය ආශාවන් සංසිඳුවා ගැනීමට උත්සාහ කළා දැයි පොලිසිය සැක පළ කරයි. තරුණියගේ ඇඳුම ගලවා වෙනත් යට ඇඳුමක් අන්දවා ඇතැයි ද පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.