ඊයේ පස්වරු 6.35ට කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී හදිසියේ නතර කර තිබෙනවා. කෙසේ වෙතත්, දුම්රියෙහි ගමන් ගත් මගීන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් කියා සිටියේ දුම්රියේ රියදුරා බීමත්ව සිටීම නිසාවෙන් දුම්රිය නතර කර තිබූ බවයි.
අප මේ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරියෙන් සිදුකළ විමසීමකදී දුම්රිය රියදුරාට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් දුම්රිය නතර කළ බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළා.
දුම්රියේ රියදුරා බීමත්ව ඇති බවට දුම්රිය මගීන්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා. එහිදී තහවුරු වී ඇත්තේ රියදුරා අධික රුධිර පීඩනය සහ දියවැඩියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ක්ලාන්ත වී ඇති බවයි.
ඊයේ විනාඩි 20ක පමණ කාලයක් දුම්රිය ඇණහිටීම නිසා අදාළ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ නවතා තිබූ අතර ඊට පිටුපසින් පැමිණි දුම්රිය කිහිපයක් ගමන් කිරීමට නොහැකිව අපහසුතාවට ලක්වුණා. පසුව වෙනත් දුම්රියක රියදුරෙකු ආධාරයෙන් නතර වූ දුම්රිය ගමන් කරවීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර, ඊයේ රාගම දුම්රිය ස්ථානයේදී දුම්රිය රියදුරෙකු පහරදීමකට ලක්වූ බව පවසමින් දුම්රිය කිහිපයක් ධාවනය නොකිරීමට දුම්රිය ධාවන රියදුරු සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ සියලූම මාර්ගවල ප්‍රධාන දුම්රිය හැර අනෙකුත් දුම්රිය අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි පැවසෙන්නේ.