අනතුරටපත් රුසියානු ගුවන් යානයේ ගමන්ගත් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. රුසියාවේ කොගලිමාවියා ගුවන් සමාගමට අයත් ඒ - 321 වර්ගයේ 7 K 9268 මගී ගුවන්යානය ඊජිප්තුවේ ෂ්‍රාම් අල් ෂෙයික් නුවරින් රුසියාව බලා ගමන් ආරම්භ කළේ අලුයම 6.01ටයි.
මෙම ගුවන් යානය බිමහෙළිමේ වගකීම ISIS ත්‍රස්තයින් භාරගෙන ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.
මෙම යානය පස්වරු 12.10 ට රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පුල්කෝවෝ ගුවන්තොටුපලට ළගා වීමට නියමිතව තිබුණා. යානය ගුවන්ගත වී මිනිත්තු 23 කට පසුව සයිප්‍රස් ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සබඳතා ගොඩනගා ගැනීමට අපොහොසත් වූ යානය රේඩාර් පද්ධතියෙන් ද අතුරුදන් වී තිබෙනවා. ඒ වනවිට යානය පියාසර කරමින් තිබූ උස අඩි 31,000 ක්.
යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වීමත් සමග පරස්පර ප්‍රවෘත්තීන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ නමුත්, යානය කඩා වැටුණු බවට ඊජිප්තු අග්‍රාමාත්‍යවරයා නිල නිවේදනයක් නිකුත් කළා.
යානය කඩා වැටුණු ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපය ඉස්ලාම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් බහුලව සිදුවන ප්‍රදේශයක් බැවින් යානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූවාද යන්න පිළිබදව ද විදෙස් මාධ්‍ය සැක පළ කරනවා.