අනියම් සම්බන්ධයක් මුල්කර ගනිමින් පුද්ගලයකුගේ බෙල්ල කපා ගම්පොල නුවරඑළිය මාර්ගයේ රම්බොඩ කන්දකින් පහළට දැමූ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනකු ලබන 12 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්‌ත්‍රාත් එල්. කේ. මහින්ද මහතා නියෝග කර තිබෙනවා.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ පේරාදෙණිය පිළිමතලාව පදිංචි ඩී. ජී. එම්. කමල් හා ආර්. එම්. රත්නායක යන දෙදෙනායි.
මිතුරන් තිදෙනකු සමඟ විදේශ රැකියාවකට යැමට සූදානම්ව සිටි පිලිමතලාවේ පදිංචිකරුවකු මෝටර් රථයෙන් පැහැරගෙන ගොස් මරණයට පත්කිරීමේ අරමුණින් මෙසේ බෙල්ල කපා රම්බොඩ කන්දෙන් පහළට දැමුවත් ඔහුගේ උගුරු දණ්‌ඩ කැපී නොතිබූ නිසා ගම්පොල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට තිබිණි.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ඔහුගේ බිරිඳ ඉතාලි රැකියාවක නිරත වී ඇති අතර දෙදරු මවක වන බිරිඳ මෙරටට පැමිණ පිළිමතලාවේ පදිංචිව සිටින අතරතුර අයෙක් සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව පරීක්‍ෂණ පවත්වන කොත්මලේ පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මෙම අනියම් සබඳතාව කන වැකුන කාන්තාවගේ සැමියා මෙරටට පැමිණ අනියම් සැමියාට පහරදී මරණ තර්ජන සිදුකොට මෙම සබඳතාව නවතා දමන ලෙස දන්වා ඇත.
වරින් වර පැමිණ ඇති තර්ජන හමුවේ එම සබඳතාව නවතා දැමූ තිස් හැවිරිදි මෙම පුද්ගලයා රැකියාවක් සඳහා විදේශගත වීමට සූදානම්ව ඇති අතර එය දැනගත් කාන්තාව සැමියාට අනියම් සබඳතාව පිළිබඳව නැවත දන්වා ඇත.
ඒ අනුව මෙරටට පැමිණ ඇති සැමියා මොහු මැරීමට සැලසුම් කොට වාහන කුලියට දෙන ආයතනයකින් මෝටර් රථයක් ලබාගෙන කාන්තාව හා මිතුරන් සමඟ එක්‌ව මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් මෙසේ ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇත.
සිද්ධියෙන් පසු කාන්තාව අතුරුදන්ව ඇති අතර ඇය සොයා ඇගේ මහගෙදර පිහිටි මොනරාගල වැල්ලවාය ප්‍රදේශයට පොලිස් කණ්‌ඩායමක් පිටත්ව ගියේය. ගෙල කපා සිටින තුවාලකරුගේ වැඩිදුර පරීක්‍ෂණ සඳහා මහනුවර මහරෝහලට යෑවීමට කටයුතු යොදා තිබුණි.
නුවරඑළිය දිස්‌ත්‍රික් සහකාර පොලිස් අධිකාරි ජී. විමලදාස කොත්මලේ පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලලිත් මහගෙදර යන මහතුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො.ප. ලක්‍ෂ්මන් ඇතුළු නිලධාරි කණ්‌ඩායමක් පරීක්‍ෂණ පවත්වති.
සුරංග දිල්හාන්